Wed. Apr 30th, 2025

ආරුගම්බේ ප්‍රහාර සැලසුම ලක්ෂ 50ක කොන්ත්‍රාතුවක්: විස්තර මෙන්න!

Oct24,2024 #2024 #news #police #slpolitics

මෙරට ආරුගම්බේ සංචාරක කලාපයේ ඊශ්‍රායෙල් ජාතිකයන් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇත්තේ ඉන්දීය බුද්ධි අංශ විසින් බව වාර්තා වෙනවා.

ආරුගම්බේ පෙදෙස ඊශ්‍රායෙල් සංචාරකයන් බහුලව ගැවසෙන පෙදෙසක් බැවින් බෝම්බ ප්‍රහාරය සඳහා තෝරගෙන ඇති බවත් අදාල ප්‍රහාරය ඔක්තෝම්බර් 19-23 අතර එල්ල කිරීමට සැලසුම් වී තිබු බවත් පැවසුණා.

ප්‍රහාරය සඳහා මෙරට පුද්ගලයන් දෙදෙනකුට රු. ලක්ෂ 50ක් ලබා දී ඇති බවත් ඉන් අයෙකු ඉරාකයේ සිට පැමිණ ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ දක්වා ඇති බව සඳහන්.

පසුගිය දිනවල ඊශ්‍රායලය අතින් හිස්බුල්ලා නායකයන් ඝාතනයට ලක්වීම හේතුවෙන් එයට පලිගැනීමක් ලෙස ලොව පුරා ඊශ්‍රායල් ජාතිකයන් ගැවසෙන ස්ථාන වෙත පහරදීමකට උත්සාහයක් තිබිය හැකි බවයි පැවසුණේ.

කෙසේ වෙතත්, මෙම තොරතුරු ලැබුණු පසු කඩිනමින් ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ආරුගම්බේ පමණක් නොව දකුණේ සංචාරක කලාපයන් සහ ඇල්ල වැනි සංචාරක කලාපවලද ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කරනු ලැබුවා. ආරුගම්බේ ආරක්ෂාවට අමතර නිලධාරීන් 500ක් කැඳවූ බවයි වාර්තා වූයේ.

ඊශ්‍රායලය විසින් තම පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ, ආරුගම්බේ, ගාල්ල, හික්කඩුව, සහ වැලිගම සංචාරක කලාපවලින් වහාම ඉවත්වන ලෙසයි. ඉවත්ව කොළඹ වැනි පොලිස් ආරක්ෂාව යටතේ පවතින කලාපයක් වෙත ගමන් කිරීම හෝ රටෙන් පිටවීමට ද උපදෙස් ලබා දී තිබෙනවා. හිබෲ ආගමික ඇදහීම් සහ එවැනි සංකේත ද පිරිස් ඒකරාශී වන කිසිවක්ද නොකරන ලෙස මෙරට ඊශ්‍රායෙල් සංචාරකයන්ට වැඩිදුරටත් අවවාද කිරීමට එරට රජය කටයුතු කර තිබුණා.

මේ අනුව යමින් , ඇමරිකානු තානාපති කාර්යාලය, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය, ඔ්ස්ට්‍රේලියානු නවසීලන්ත මහකොමසාරිස් කාර්යාල සහ රුසියානු තානාපති කාර්යාලයද සිය සංචාරක පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *