Tue. Jun 24th, 2025

ජනාධිපති සමාව ගැන ජනාධිපති කාර්යාලය කියයි

ජාතික ජන බලවේගය රජය යටතේ ජනාධිපති සමාව ලබාදීමේ බලතල අහෝසි නොකරන බවත් එම බලතල සුදුසු සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

ජනාධිපති සමාව ක්‍රියාත්මක් වී ඇති ආකාරය සම්බන්ධයෙන් මහජනතාවගෙන් සැළකිය යුතු විවේචන එල්ල වී ඇති පසුබිමක පසුගිය පාලනයක් යටතේ ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඔහුගේ ප්‍රජා අයිතිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මගින් සම්පූර්ණයෙන් ප්‍රතිෂ්ඨාපනය කර ගැනීමට අපේක්ෂා කර සිටින මෙහොතකයි ජනාධිපති කාර්යාලය මෙසේ ප්‍රකාශ කළේ.

ඉවෝන් ජොන්සන් සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් වූ ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ සහ දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදුන් ජනාධිපති සමාවන් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑත කාලයේදී අවලංගු කළා.

පවතින තත්ත්වය මත ජාතික ජන බලවේගය රජය යටතේ අදාළ නීතිමය ප්‍රතිපාදනවල යම් වෙනසක් සිදුවේද යන්න සම්බන්ධයෙන් කර තිබූ විමසීමකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති සමාව අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ ඔවුන් නොසිටින බවයි.

“එවැනි ප්‍රතිපාදන තිබීම වරදක් නෙවෙයි, නමුත් එම බලතල ක්‍රියාත්මක කළ යුත්තේ උචිත සහ විනිවිදභාවයෙන් මිස හදිසියේ නෙවෙයි. පවතින විධිවිධාන යටතේ යම් වරදකරුවකුට සමාව දීමට පෙර වාර්තා කිහිපයක් කැඳවා ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. එම වාර්තා කැඳවන්නේ නැතිව හදිසියේ සමාවක් ලබාදිය නොහැකියි. මෙම සංකල්පය නිසි ක්‍රමවේදයකට ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි නීති අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

ජනතාවගේ විවේචනයට ලක්ව ඇත්තේ ජනාධිපති සමාව ලබාදුන් ආකාරය මිස සංකල්පය නොවන බවත් නියමිත ක්‍රියාවලිය අනුගමනය කරමින් එය ක්‍රියාත්මක කරන්නේ නම් ගැටලුවක් ඇති නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොන්දේසි සහිතව සමාව පිරිනැමූ රංජන් රාමනායක තම ප්‍රජා අයිතිය යළි ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරමින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයට විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

ජනාධිපතිවරයාගේ බලතල සහ කර්තව්‍යයන් ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවල සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ ඕනෑම අධිකරණයකදී කිසියම් වරදකට වරදකරුවකු වූ අයකුට ජනාධිපතිවරයාට නිදහසේ හෝ නීත්‍යනුකූල කොන්දේසිවලට යටත්ව සමාවක් ලබා දිය හැකියි බවයි.

මරණ දණ්ඩනයට නියම වූ වරදකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ අදාළ නඩුව විභාග කළ විනිසුරුවරයාගෙන් ජනාධිපතිවරයා විසින් වාර්තාවක් කැඳවා එම වාර්තාව නීතිපතිවරයාට යොමු කළ යුතු බවයි.

නීතිපතිවරයාගේ උපදෙස් සහිතව වාර්තාව අධිකරණ ඇමැතිවරයා වෙත යොමු කළ යුතු අතර ඇමැතිවරයාගේ නිර්දේශය සහිත වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *