ආබාධ සහිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා නව කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු විධිවිධාන ඇතුළත් නව පනත් කෙටුම්පත අවසන් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසත් එහි අවසන් කෙටුම්පත ජූනි 14 වන විට සංසදයට ඉදිරිපත් කරන ලෙසත් ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අදාළ සියලු පාර්ශ්වයන්ට පසුගියදා දැනුම් දුන්නා.
එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළ අතර සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.
ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මෙම පනත් කෙටුම්පත සකස්වන බවත් මෙහිදී අනාවරණය වුණා.
එසේම කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව මෙය කෙටුම්පත් කළ යුතු බවත් මෙහිදී සංසදයේ සභාපතිවරයා පෙන්වා දුන්නා.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු සියලු පාර්ශ්ව මැදිහත්ව මෙය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.
අනතුරුව අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන අවසන් ලියවිල්ල සකස්කළ හැකි බවත් සංසදයේ සභාපතිවරයා සඳහන් කළා.
මෙම කටයුතු සඳහා අධිකරණ විෂයභාර අමාත්‍යවරයාගේ පූර්ණ මඟ පෙන්වීම සහ ආශීර්වාදය හිමිවන බවත් ඒ අනුව ලබන ජූනි 14 වැනිදා වන විට අවසන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් (presentation) සංසදයට සිදු කරන ලෙස ද දැනුම් දුන්නා.
එසේම මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාකොට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා විෂය භාර අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිවරයා හමුවීමට ද කඩිනමින් පියවර ගන්නා බව සංසදයේ සභාපතිවරයා මෙහිදී පැවසුවා.
ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය සදහා දැනට පාසැල් 27ක් පවතින බවත් ඒවා පාලනය වන 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනත සහ එහි සංශෝධන විය යුතු විධිවිධාන පිළිබඳවත් මෙහිදී අවධානය යොමුවුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මධුර විතානගේ, වීරසුමන වීරසිංහ සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ද ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණෙහි නියෝජිතයින්ද, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.