කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දහහතර හැවිරිදි පාසැල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බව පැවසෙන හතළිස් හැවිරිදි බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගත්බව කැස්බෑව පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන භික්ෂුවක්.
මෙම හිමිනම සිය විහාරස්ථානයේ දහම් පාසලක් පවත්වාගෙන යන අතර, එම දහම් පාසැලේ අධ්‍යාපනය ලැබීම සඳහා SOS ළමා ගම්මානයේ රැකවරණය ලබන මෙම සිසුවිය ඇතුළු ළමුන් පිරිසක් පැමිණෙන බව පැවසෙනවා.
ඒ අතරින් මෙම සිසුවිය දහම් පාසල් තරග සඳහා තෝරාගෙන ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම්වලට සවස් කාලයේදී ගෙන්වාගෙන ඇයව භික්ෂුව වාසය කරන කාමරයට කැදවාගෙන ගොස් ටොෆී, චොකලට්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් , අත් ඔරලෝසුවක්, සුවද විළවුන් හා මුදල් ඇතුළු තෑගිභෝග ලබා දී රවටා බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
දැරිය රැකවරණය ලබන ළමා ගම්මානයේ පාලනාධිකාරිකාරියෙන් ලබානොදෙන උපකරණ දැරිය සන්තකයේ තිබෙනු එහි පාලනාධිකාරිය දැක විමසා ඒ බව දැරියගේ මවට පවසා තිබෙනවා.
පසුව මව පැමිණ දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඉකුත් අගෝස්තු 02 දා සිට සැප්තැම්බර් 09 දා දක්වා කාලය තුළ දහම් පාසැලේ තරඟවලට පුහුණුවීමට ගිය අවස්ථාවේදී විවිධ භාණ්ඩ දී රවටා මෙම ලිංගික අපරාධය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග මෙසේ පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව දැරියගෙන් සහ භික්ෂුවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට භික්ෂුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් හිමිනම කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.