පැහැරගත් ලොරිරථයක් රැගෙන පලායමින් සිටිය දී කඩුවෙල දී එම රථයට වෙඩිතබා නවතාගෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මෙරට නිශ්පාදිත අත්බෝම්බයක්ද හමු වූ බවද පොලීසිය සඳහන් කළා.
අදාළ ලොරි රථය නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවාගෙන යන අතරතුර, වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවත්වා රියදුරු තේ බීමට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලොරිය පැහැරගෙන තිබෙනවා.
පසුව රියදුරු ත්‍රීරෝද රථයකින් ලොරිය පිටුපස හඹා ගියද, අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් පොලීසියට දැනුම්දී, එම ලොරියේ GPS ක්‍රියාවලිය ගැනද පොලීසිය දැනුම්වත් කර තිබෙනවා. ඒ අනුව ස්ථාන කිහිපයක දී අදාළ ලොරිය නැවැත්වීමට පොලීසිය උත්සාහ ගත්තද එය ව්‍යාර්ථ වී ඇතැයි සඳහන්.
ලොරි රථය ගෙන පළා යන අතරමග මෝටර් රථ 2ක්, බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ද අනතුරට ලක් කර තිබෙනවා. එසේම ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිටුපස ගේට්ටුවකටද හානි සිදුකර ඇතැයි වාර්තා වෙනවා.
කඩුවෙල නගරයේ දී පොලීසිය විසින් යළිත් වෙඩි පහර කිහිපයක් ලොරියට එල්ලකර එය නවතාගෙන ඇති අතර අනතුරුව ලොරි රථය නවතා දමා සැකකරු ඉන් පලායාමට උත්සාහ දැරූ අවස්ථාවේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.