Sat. Jun 28th, 2025

හරිත සරසවියේ සාදයක් අතරතුර ගුටි කෙලියක්

May2,2024

හෝමාගම හරිත සරසවියේ සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මත්පැන් සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසව් සිසුන් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගතකොට කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙකු (30) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

ගැටුම අතරතුරදී ආදි සරසව් සිසුවකු පැදවූ වෑන් රථයක හෝටල්සේවකයකු අනතුරට ලක් කිරීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

හෝමාගම හරිත සරසවියේ දැනට අධ්‍යාපනය ලබන හා ආදි සිසුන් පිරිසක් අතර හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ හෝටලයක ඉකුත් 30 දා සවස සිට මත්පැන් සාදයක් පවත්වා තිබේ.

මේ සඳහා හෝමාගම හරිත සර- සවියේ සිසුන් හා ආදි සිසුන් පිරිසක් සමඟ ඔවුන්ගේ හිතවතුන් පිරිසක් සහභාගී වී සිට තිබේ. එහිදී සිසුන් අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර එය දුර දිග යාමෙන් සුළු ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

එහිදී එම ගැටුම පාලනය කිරීම සඳහා හෝටල් සේවකයන් මැදිහත්වීමත් සමඟ සාදය සඳහා සහභාගී වූවන් හෝටල් සේවකයින් අතර ආරවුලක් හටගෙන දෙපාර්ශ්වය විසින් එකිනෙකා අතර ගුටි බැට හුවමාරුවක් සිදුව තිබේ.

පසුව එය මඳ වේලාවකින් නිමාවට පත් වුවද රාත්‍රී 11 පමණ වන විට යළිත් වරක් දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන තිබේ. එහිදී යළිත් වරක් දෙපාර්ශ්වය අතර පහරදීමක් සිදුකර ඇති අතර, ඒ සඳහා ගම්වාසීන් ද පැමිණ ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ගැටුමේදී හෝටලයේ දේපළ රැසකටද හානි සිදුව තිබේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇති අතර පොලිසිය පැමිණීමට පෙර එහි සිටි ආදි සිසුවකු තම බිරිඳ සමඟ පැමිණ තිබූ වෑන් රථය පණ ගන්වා පලායාමට සැරසී තිබේ. එහිදී ඔවුන්ගේ ගමන වැළැක්වීමට ඉදිරියට පැමිණි හෝටල් සේවකයෙකු හප්පා අනතුරකට ලක් කිරීම නිසා එම පුද්ගලයා බරපතළ තුවාල ලබා තිබේ.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ හෝටල් සේවකයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව පැවසේ.

පසුව සිද්ධිය වූ ස්ථානයට හෝමාගම පොලිසියේ නිලධාරී කණ්ඩායමක් පැමිණ සරසව් සිසු සිසුවියන් හා ආදී සිසුන් ඇතුළු දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර කාන්තාවක සිටින බවත් පැවසේ.

අත්අඩංගුවට ගත් මැදවච්චිය, මාතර, මැදිරිගිරිය, කැකුණවෙල, පිළියන්දල, රාගම, කොස්ගම, පදිංචි (20 – 29) වයසේ පසුවන සැකකරුවන් (01) දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කි- මට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පවත්වති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *