මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමට රුපියල් කෝටි 1000ක් වැය වන බවත් එයින් රුපියල් කෝටි 80ක් ඡන්ද පත්‍රිකා ඇතුළු මුද්‍රණ වියදම් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනවා.
එම මුද්‍රණ වියදම 2019 වසරට සාපේක්ෂව හතර ගුණයකින් වැඩි වීමක් වන අතර, භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වීම ඊට එක් හේතුවක් බව ද හෙතෙම සඳහන් කළා.
මැතිවරණවලදී අල්ලස්, කප්පම්,රැවටීම්, බලපෑම් ආදියෙන් තොරව ජනතාවගේ සත්‍ය කැමැත්ත නිරූපණය වීමේ අරමුණින් සම්මත කළ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත මෙවර ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කෙරෙන බව ද මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
එම නීතිය බලාත්මක වූ 2023 ජනවාරි 24 වන දිනෙන් පසුව මේ දක්වා මැතිවරණයක් පවත්වා නොමැති බැවින් පනත ක්‍රියාත්මක වන පළමු අවස්ථාව එළැඹෙන ජනාධිපතිවරණය වන අතර, ඒ අනුව එම පනත මඟින් දේශපාලන පක්ෂයකට සහ අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල සීමා කෙරේ.
නාම යෝජනා භාරගැනීමෙන් පසු දින 5ක් ඇතුළත දේශපාලන පක්ෂවල ලේකම්වරු කැඳවා අපේක්ෂකයන්ට වියදම් කළ හැකි මුදල තීරණය කෙරෙන අතර, ඡන්ද විමසීම අවසන් වී දින 21ක් ඇතුළත සියලු අපේක්ෂකයන් සිය වියදම් වාර්තාව මැතිවරණය කොමිසමට භාර දීම අනිවාර්ය වේ.
සීමාව ඉක්මවූ හෝ අනීතික වියදම් සම්බන්ධයෙන් මහජනතාවට සහ ඕනෑම අයකුට පැමිණිලි කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමටත් නීතිපතිවරයා මාර්ගයෙන් නඩු පැවරීමටත් පොලිසියට බලය පැවරී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙවර ජනාධිපතිවරණයේදී ෆේස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලා මඟින් අපේක්ෂකයන් ප්‍රවර්ධනය වීම හැකි තරම් පාලනය කිරීම සඳහා අදාළ ආයතන සමඟ එක්ව ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නා.