Tue. Jun 24th, 2025

සුදුමැස්සා මඩින්න විලෝපිතයින් අඩංගු පැකට් ලක්ෂ 03ක්

Aug2,2024

පොල් හා තැඹිලි වගාවේ ව්‍යාප්ත වන සුදුමැස්සා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති එන්කාර්සියා ගවුඩලෝපි (Encarcis Guadeloupae) නැමැති විලෝපිතයා අඩංගු පැකට් ලක්ෂ 03ක් මෙම වසර තුළ බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

පොල් වගාවට සුදුමැස්සාගෙන් සිදුවන හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින්ම වාර්තාවන අතර බස්නාහිර පළාත හා තවත් ප්‍රදේශ කිහිපයක වර්ෂාව නිසා මෙම හානියේ යම් අවම වීමක් වාර්තාවී තිබෙනවා.

සුදුමැස්සා වැඩිපුර කහ පැහැයට ආකර්ෂණය වීමක් දක්නට ඇති බැවින් පොල් වගාවට වඩා තැඹිලි වගාවට විශාල හානියක් සිදු කරනවා.

මේ වනවිට සුදුමැස්සාගේ හානියට ලක් වූ පොල් හා තැඹිලි ගස් 1,051,323කට මෙම ප්‍රතිකාරය ලබා දී තිබෙනවා.

සුදුමැස්සාගෙන් සිදුවන හානිය නිසා පොල් අස්වැන්නට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා.

මේ නිසා පසුගිය වසරේ පොල් ඵලදාවේ විශාල අඩුවීමක් සිදු වුණා.

මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා මේ වනවිට කොහොඹ තෙල් නිස්සාරණය ඉසීම සඳහා දියර ඉසින යන්ත්‍ර 700ක් හා පොල් වගාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩ සටහන් 3046ක් පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් පවත්වා තිබෙනවා.

එමෙන්ම 2024 වර්ෂය තුළ පොල් පැළ මිලියන දෙකක් ගොවීන්ට ලබා දීමට සැළසුම් කර ඇති අතර මේ වනවිට ඉන් පොල් පැළ ලක්ෂ 08ක් බෙදා හැර අවසන්.

එමෙන්ම තැඹිලි පැළ 11,401ක් වගාකරුවන්ට බෙදා දී තිබෙනවා.

තැඹිලි බීජ 23,233ක් මේ වනවිට පැළ ලබා ගැනීම සඳහා තවාන් කර ඇති බව ද පොල් වගා කිරීමේ මණ්ඩලය අවධාරණය කරනවා.

සුදුමැස්සාගෙන් පොල් වගාව ආරක්ෂා කර ගැනීම සදහා හඳුන්වා දී ඇති විලෝපිතයා ගොවීන්ට ලබා දීමට හා නිවැරදිව පොල් වගාවේ යෙදවීම පිළිබඳව තවදුරටත් පොල්වගාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01) පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් දුන්නා.

මෙම වර්ෂය තුළ පොල් වගාව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති පිලිබඳ සාකච්ඡාවක් ඊයේ (01) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

එහිදී මෙම කරුණු අනාවරණය වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *