මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය ජූනි මාසයේ දී අමාත්‍ය මණ්ඩලය පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව වී මිල දී ගැනීමේ කටයුතු සඳහා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 500ක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට තීරණය කරන ලද බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා.
මේ අනුව අද දින (27) සිට වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා දැනට වී අස්වනු නෙළා අවසන් කරන ලද දිස්ත්‍රික්කවල පිහිටි වී ගබඩා 32ක් විවෘත කර තැබීමටත්, තවත් ගබඩා 100ක් අවශ්‍ය විටෙක විවෘත කිරීමටත් සූදානම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා.
මේ වනවිට නාඩු වී සඳහා ඉහළ මිලක් වෙළෙඳ පළේ ඇති නිසා පුද්ගලික අංශය විසින් රුපියල් 120ක මුදලකට ඒවා මිල දී ගනු ලබයි.
නමුත් රජයේ පාලන මිලට තම වී තොග ගොවි ජනතාව වී අලෙවි මණ්ඩලයට ලබා දීමට පියවර නොගනු ඇතැයි ද විශ්වාස කරන බව සභාපතිවරයා පවසනවා.
නමුත් දැනට කීරි සම්බා වී මිල වෙළෙඳපළේ රුපියල් 105-110 වැනි මිලකට පහල ගොස් ඇති නමුත් කීරි සම්බා සඳහා රජය විසින් පනවන ලද රුපියල් 130 උපරිම මිල ගණන් යටතේ මිල දී ගැනීමට සූදානම් බව ද ඒ මහතා පවසනවා.
එමනිසා වී අලෙවි මණ්ඩලයට සම්බා සහ කීරි සම්බා වී ගොවීන් විසින් වැඩිපුර අලෙවි කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සභාපතිවරයා සඳහන් කරනවා.