ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Hon. David Pine මහතා සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස්වරයා ඊයේ (30) කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ දී හමුවුණා.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටියා.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා නවසීලන්ත රජයේ සහයෝගය පළ කිරීමත්, අප රටේ වගා කරන අන්නාසි, අඹ හා සම්බන්ධවත් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වුණා.
දැනට විදේශ වෙළෙඳපළේ ඉහළ ඉල්ලුමක් ඇති HAAS නැමැති අලිගැටපේර වගාව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව වගා කිරීම ආරම්භ කර තිබෙනවා.
මෙම අලිගැටපේර වගාව සඳහා තවදුරටත් නවසීලන්ත රජයේ සහයෝගය ලබා දෙන ලෙස කෘෂි තාක්ෂණය පිළිබඳ අතිරේක ලේකම් ශිරෝමණී එදිරිමාන්න මහත්මිය මෙහිදී සඳහන් කළා.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය කිරි අවශ්‍යතාවයෙන් 60%ක් පමණ තවමත් ආනයනය කිරීම මගින් සම්පුර්ණ කිරීමට සිදුව ඇති බව සඳහන් කළා.
මේනිසා අප රටේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා උසස් තත්ත්වයේ ගවයින් හිඟකම, නව තාක්ෂණය හදුන්වා දීම , උසස් ගව ශ්‍රක්‍රාණු ආනයනය කිරීම අත්‍යාවශ්‍ය බව සඳහන් කළා.
මේ රටේ කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික සහයෝගය ලබා දීමට නවසීලන්ත රජයට හැකි බවත්, ඒ සම්බන්ධව නවසීලන්ත රජය සමඟ සාකච්ඡා කර පියවර ගන්නා බවත් මහකොමසාරිස්වරයා සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අන්නාසි හා අඹ නවසීලන්තයට අපනයනය කිරීම සඳහා අවස්ථාවන් ලබා දීමට ද මෙම සාකච්ඡාවේ දී මහකොමසාරිස්වරයා එකඟතාවය පළ කළා.