පාර්ලිමේන්තු වටරවුමේදී රිය අනතුරකට ලක්ව තුවාල ලබා සිටි අඹුසැමි යුවළක සතු මුදල් පසුම්බිය සොරාගෙන එහි තිබූ ඒ.ටී.එම්. කාඩ්පතෙන් සුපිරි වෙළඳසලකින් රුපියල් 16,400 ක් වටිනා බඩු බාහිරාදිය මිලදී ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයෙක් වැලිකඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට පෙරේදා (30) අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.
සැකකාර කොස්තාපල්වරයා එම රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පැමිණි අවස්ථාවේ අනතුරින් තුවාල ලබා සිටි පුද්ගලයාගේ මුදල් පසුම්බිය හොරකම් කර ඇති බව පොලිසිය පවසනවා.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොළඹ නාගරික රථ වාහන අංශයට අනුයුක්තව පොලිසියේ රාජකාරි කරන කොස්තාපල්වරයෙක්.
පසුගිය නව වැනිදා මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් තුවාල ලැබූ අඹුසැමි යුවළ කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගෙන තිබෙනවා.
තමාගේ මුදල් පසුම්බිය අනතුර සිදු වූ අවස්ථාවේ කිසිවකු විසින් සොරාගෙන එහි තිබූ ඒ.ටී.එම්. කාඩ්පත යොදාගනිමින් පැලවත්තේ පිහිටි සුපිරි වෙළඳසලකින් රුපියල් 16,400ක් වටිනා බඩු බාහිරාදිය මිලදී ගෙන ඇති බවට තුවාල ලැබූ පුද්ගලයා වැලිකඩ පොලිසියට පසු දින (10) පැමිණිලි කර තිබුණා.
පැමිණිල්ල අනුව වැලිකඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම සුපිරි වෙළෙඳසැලට ගොස් එහි සවිකර ඇති සීසීටීවී කැමරාවල රූපරාමු පරීක්ෂා කර බලා මෙම කොස්තාපල්වරයා හඳුනාගෙන කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට ගොස් ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
මුදල් පසුම්බියක් සොරාගෙන ඒ.ටී.එම්. කාඩ්පතින් බඩු බාහිරාදිය ද මිලදී ගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි කියන චෝදනාව යටතේ සැකපිට පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළා.
මෙම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පොලිසිය කටයුතු කර ගෙන යනවා.
වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.