ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ දැවැන්තම සමූහ සුසානය ඇතුළු වන්නි ප්‍රදේශයෙන් හමුවූ සොහොන් බිම් දෙකක විමර්ශන කටයුතුවල ඊළඟ පියවර සිදු කිරීමට අධිකරණ අනුමැතිය ලැබී තිබෙනවා.
එකොලොස් වසරකට ඉහතදී මන්නාරමෙන් අහඹු ලෙස හමු වු තිරුකේතීස්වරම් මිනි වලේ කාල නීර්ණය සඳහා අවශ්‍ය සාම්පල විදේශිය රසායනාගාරයක් වෙත යැවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහාත් හය අවුරුද්දකට ඉහතදී මන්නාරම සතොස සමුහ මිනි වලෙන් ගොඩගත් අස්ථි කොටස් වෝහාරික මානව විද්‍යාත්මක පරීක්ෂණය සඳහා වෙනත් සුදුසු ස්ථානයක ගබඩා කිරීමටත් අධිකරණයේ අනුමැතිය හිමිව ඇත්තේ ඊයේ (16) දිනයේදී.
තිරුකේතීස්වරම් හා සතොස සමුහ මිනි වලවල් දෙක සම්බන්ධයෙන් වන නඩු අධිකරණයේ විභාගයට ගැනිමෙන් අනතුරුව බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාන්තිප්‍රගාසම් නිරංජන් එම තොරතුරු අනාවරණය කළේ මන්නාරමේදී මාධ්‍ය හමුවක් පවත්වමින්.
නීතීඥවරයා එහිදී සදහන් කළේ මන්නාරම තිරුකේතීස්වරම් සමූහ සුසානයෙන් 2013දී ගොඩගත් සිරුරු 82ක කාබන් කාල නිර්ණය සඳහා අවශ්‍ය සාම්පල ෆ්ලොරීඩාවේ, මයාමි හි පිහිටි බීටා ඇනලිටික්ස් ආයතනය වෙත යොමු කිරීම වෙනුවෙන් සිදු කළ යුතු ක්‍රියා පිළිවෙත ආරම්භ කිරීම සදහා අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න අධිකරණයෙන් ඉල්ලු අවසරය හිමි වූ බව නීතිඥවරයා සඳහන් කළා.
තිරුකේතීස්වරම් සමුහ සුසානයෙන් ලබාගෙන ඇති මිනිස් සිරුරු සාම්පල පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේ විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබු නමුත් ඔහු බදාදා අධිකරණයට නොපැමිණිම හේතුවෙන් එම වාර්තාව මීලඟ නඩු දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි නීතිඥ ශාන්තිප්‍රගාසම් නිරංජන් වැඩි දුරටත් සදහන් කළේ.
මන්නාරම සතොස සමුහ සුසානයෙන් ගොඩ ගෙන මේ දක්වා අධිකරණය භාරයේ තිබු මිනිස් අස්ථි කොටස් හා ඒ සමගින් ගොඩගෙන ඇති භාණ්ඩ වෙන් කිරීමේ කටයුතු පසුගිය සතියේ දින පහක් පුරා මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ දී සිදු වු බවත් කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පුරාවිද්‍යා පශ්චාද් අධ්‍යයන පීඨයේ මහාචාර්ය රාජ් සෝමදේව විසින් සතොස සමුහ සුසානය අවට පස් සාම්පල ලබා ගැනිම සදහා කැනීමක් සිදු කළ බවත් නීතිඥවරයා ප්‍රකාශ කළා.