Sat. Jun 28th, 2025

අනියම් බිරිඳ මැරූ අනියම් සැමියා

Jun3,2024

යාපනයේ චාවාකච්චේරි ප්‍රදේශයේ සුසාන භූමියක් අසලදී සිය අනියම් බිරිඳගේ මුහුණට කෘමිනාශක දියරයක් ඉස සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබා මරා දැමීමේ සිද්ධියට සැකපිට අනියම් සැමියා පොලිසිය විසින් 1 දා අත්අඩංගුවට ගෙන තිබේ.

චාවාකච්චේරි ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක නිවසේ සිට යාපනය ශාන්ත පතිරිසියාර් විද්‍යාලය පාර ප්‍රදේශයේ පැටි්‍රක් සුසාන භූමිය වෙත රැගෙන ආ ඇගේ අනියම් ස්වාමි පුරුෂයා කාන්තාවගේ සිරුරට පෙට්‍රල් වත්කොට සිරුරට ගිනි තබා ඇත.

ඇයව සුසාන භූමිය වෙත ඇදගෙන එමින් සිටි අවස්ථාවේ සිද්ධිය දුටු පිරිසක් ඒ බව චාවාකච්චේරි පොලිසියට දැනුම් දීමත් සමගම නිලධාරීන් වහා ක්‍රියාත්මක වී සිද්ධිය වන ස්ථානයට පැමිණ ඇත. නිලධාරීන් පැමිණෙන විටම කාන්තාවගේ සිරුරට ගිනි තැබූ ඇගේ අනියම් සැමියා එම ස්ථානයෙන් පලාගොස් තිබේ. පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න මැදට පැන කාන්තාව බේරා ගෙන ගිලන් රථයකින් ඇය රෝහල කරා රැගෙන ගොස් තිබේ. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම සවස ඇය මියගිය බව යාපනය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන මහතා  පැවැසීය.

පසුව පොලිසිය විසින් අනියම් බිරිඳට ගිනි තැබූ අනියම් ස්වාමිපුරුෂයාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු චාවාකච්චේරි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

අනියම් සැමියා මැය සමග කාලයක් එකට ජීවත් වූ බවත් ඔහුට විවාහ යෝජනාවක් ඉදිරිපත් වීම නිසා අනියම් බිරිඳව මෙසේ ගිනි තබා මරා දැමීමට හේතුවී ඇති බවත් ගම්වාසීහු ප්‍රකාශ කරති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් විශාන්ත මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අත්තනායක යන මහත්වරු සහ යාපනය පොලිසියේ ළමා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියෝ පරීක්ෂණ පවත්වති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *