Fri. Jun 27th, 2025

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අත්අඩංගුවට ගැනීම වළකියි

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

උපුල් තරංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මාතලේ මහාධිකරණය ඔක්තෝබර් 8 වැනිදා වරෙන්තු නිකුත් කිරීමට නියෝග කරනු ලැබුවා.

ඒ මහනුවර පල්ලෙකැලේ මෑතකදී පැවැති “ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆි” තරගාවලියේදී තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් හෙවත් යෝගී පටෙල්ට එරෙහිව ගොනුකර ඇති නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස් ගතවීම හේතුවෙන් ඔහුව ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නැයි එම වරෙන්තුව නිකුත් කර තිබුණා.

ඒ අනුව අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවට අනුව උපුල් තරංග මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

පෙත්සම්කාර උපුල් තරංග මහතා අත්අඩංගුවට නොගන්න ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින පොලිස්පතිවරයා සහ  ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන්ට ද මෙහිදී තවත් නියෝගයක් නිකුත් කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *