Sat. Jun 28th, 2025

පාස්පෝට් ප්‍රශ්නෙ විසඳෙන දවස ගැන අනාවරණයක්

ලබන සඳුදා (21) දිනයේ සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කළ හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

එළැඹෙන සෙනසුරාදා දිනයේදී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බවත් ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් විජිත හේරත් මෙහිදී වැඩි දුරටත් පවසා සිටියා.

අද (15) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බවත් ඒ හේතුවෙන් එයට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

විජිත හේරත් මහතා තවදුරටත් සඳහන් කළේ උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බවයි.

කෙසේවෙතත් මේ වනවිට ඇනවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමග නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වනදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් මෙහිදී පවසා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *