Sat. Jun 28th, 2025

ගංවතුර අවදානමක් – ඇතැම් ප්‍රදේශ දැනටමත් යටවෙලා

Jun2,2024

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා අවට පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති අතර මේ වන විටත් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් වට වී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.

කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ඉදිරි පැය 48ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්ය.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ සහ මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට ද ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

නිල්වලා ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ (01) රාත්‍රී සිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්ය.

මීට අමතරව ගිං ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, ඇල්පිටිය, අක්මීමණ, බද්දේගම සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවල ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රී සිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට ද ගංවතුර ඇතිවීමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *