මින් ඉදිරියට රට තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකව යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.
අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග පසුගියදා එම අමාත්‍යංශයේදීම පැවති සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙසේ ප්‍රකාශ කළා.
“දේශීය සහ විදේශීය මූල්‍ය ප්‍රතිපාදන යටතේ සිදු කරන රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘතියවලදී රාජ්‍ය නිලධාරීන් සතු විශේෂඥ දැනුම භාවිත කරමින් අදාළ පාර්ශ්ව සමග යහපත් සංවාදයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඔබ සතු විය යුතුයි. රජය ලෙස අවශ්‍ය මඟ පෙන්වීම අපි සිදු කරනවා. ඒ නිසා එවැනි අවස්ථාවන්වලදී නිරන්තර අදාළ පාර්ශව සමග සාකච්ඡා සිදුකරන්න වග බලා ගන්න. ව්‍යාපෘති සිදු කිරීමේදී රජයට වාසි සහගත තත්ත්වයක් යටතේ අදාළ සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකිරීමට රාජ්‍ය නිලධාරීන් ලෙස වගකීමක් ඔබට තියෙනවා. මේ ව්‍යාපෘතීන් බොහොමයක් ණය ලෙස ලැබෙන දේවල්. මේ සියල්ල යළි ගෙවීමට සිදුවන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා ව්‍යාපෘති ආරම්භ කිරිමට පෙරාතුව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය රටට යෝග්‍යද නැද්ද යන්න පිළිබඳ මහජන මිත්‍රශීලී හැඟීමෙන් තීරණය කරන්න. එවැනි නිලධාරීන් වෙනුවෙන් අපේ රජය ඕනෑම විටක පෙනී සිටින්න සූදානම්.”