Wed. Apr 30th, 2025

පොහොර වංචාවක් ගැන හෙළිදරව්වක්

ගොවි ජනතාවට අඩු මුදලට ලබාදීම සඳහා වසර හයකට පෙර ආනයනය කළ පොහොර තොගයක් හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළැයි කියන මෙරට පොහොර සමාගම් 05ක හා තැරැව්කාර ආයතන 08ක සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (10) නියෝග කර තිබෙනවා.

අදාළ පොහොර සමාගම් 05 හා තැරැව්කාර ආයතන 08 සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර දැක්වෙන වාර්තා කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ බව සඳහන්.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ සුමේධ පෙරේරා හා රුවන් චන්ද්‍ර යන මහත්වරු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ 2018 වසරේදී රජය ක්‍රියාත්මක කළ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ රුපියල් 1100/-ක සහන මිලකට ගොවීන්ට ලබාදීම සඳහා පෙහොර සමාගම් විසින් රුපියල් 2500/-ක මිලකට විදේශ රටවලින් පොහොර ආනයනය කර ඇතැයි පැවසෙනවා.

රුපියල් 2500/-ක මිලට විදේශ රටවලින් ආනයනය කළ පොහොර තොග පෙහොර සමාගම් 05ක් විසින් පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට රුපියල් 3500/- බැගින් අලෙවිකර ඇති බවත් එලෙස පුද්ගලික කර්මාන්තකරුවන්ට වැඩි මිලට පොහොර විකුණා ඇති ඔවුන් එම පොහොර තොග ගොවි ජනතාවට රුපියල් 1100/- ක සහන මිලට ලබා දුන් බව රජයට අඟවා තමන්ට පාඩුවු රුපියල් 1400/-ක මුදල යළි රජයෙන් ලබාගෙන රුපියල් කෝටි ගණනක් රජයට වංචා කර ඇති බව පැවසු උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ රජයට වංචා කිරීම හා අයුතු ලාභ ලැබීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බව සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙරට පොහොර සමාගම් පහක සහ තැරැව්කාර ආයතන අටක පුද්ගලයින් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගෙන ඇති අතර නුදුරු දිනකදීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවා.

ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 වසරේ දියත් කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළේදී මෙරටට පොහොර ආනයනය කළ සමාගම් 18 න් සමාගම් 05ක් මෙසේ වංචා සහගතව කටයුතු කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇති බව පැවසු අනුර ගමගේ මහතා අදාළ පොහොර තොග ඒකල හා පෑලිගොඩ ප්‍රදේශවල තොග ගබඩා වලින් නාත්තන්ඩිය ප්‍රදේශයේ පොල්කටු අඟුරු මගින් කාබන් නිෂ්පාදනය කර අපනයනය කරන කර්මාන්ත ශාලාවකට විකුණා ඇති බවට අනාවරණය වුණා.

පොහොර සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නොමැති කොළඹ ප්‍රදේශයේ තේ අලෙවිසල්, කිරි අලවිසල් හා යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන මධ්‍යස්ථාන වල ලිපිනයන් යොදා මුදල් ලබාගැනීම සඳහා රජයට ඉන්වොයිස් පත්‍ර යොමු කර මෙම වංචාව කර ඇති බව පැවසු අනුර ගමගේ මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ ඉල්ලීම් වලට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *