Sat. Jun 28th, 2025

පොල්තෙල් හිඟය ගැන නිෂ්පාදකයන්ගෙන් අනාවරණයක්

පොල්තෙල් ලෙස ලේබල් කර රසායනිකව පිරිපහදු කළ තෙල් දේශීය වෙළෙඳපොළට මුදා හැරීම පිළිබඳ පවතින කණස්සල්ල හේතුවෙන් රසායනිකව පිරිපහදු කළ තෙල් ස්වාභාවික පොල්තෙල්වලින් වෙන්කර හඳුනා ගැනීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් ස්ථාපනය කරන ලෙස සමස්ත ලංකා සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය විසින් රජයෙන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට පටහැනිව, පිරිපහදු කිරීම, විරංජනය කිරීම සහ ඩියෝඩරයිසින් මගින් ලබාගත් සැකසූ තෙල් මෙට්‍රික් ටොන් 80,000ක් වෙළෙඳපොළට පැමිණ පොල්තෙල් ලෙස අලෙවි කරන බව වාර්තා වන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

මෙම තෙල් වර්ග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් වැනි රසායනික ද්‍රව්‍යවලින් පිරිපහදු කර තිබෙන ඒවා, ඒවගේ පිළිකා කාරක සහ සෞඛ්‍යයට අහිතකර බැර ලෝහවල අපද්‍රව්‍ය අඩංගු විය හැකි බව සමස්ත ලංකා සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.

ආහාරයට ගතහැකි තෙල්වල ඇති නිදහස් මේද අම්ල, අයඩින් සහ ඇෆ්ලැටොක්සින් මට්ටම තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් අහඹු පරීක්ෂණ පවත්වන අතර, මෙම නිෂ්පාදනවල බැර ලෝහ හඳුනාගැනීම සඳහා කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන වර්ගීකරණයට අනුව ස්වාභාවිකව නිපදවන පොල්තෙල් රසායනිකව පිරිපහදු කළ පොල්තෙල්වලින් වෙන්කර හඳුනාගැනීම සඳහා පැහැදිලි කාණ්ඩ පවතින බවත් ආනයනකරුවන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මාර්ගෝපදේශ මගහරිමින් සිටින බවටත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කර නොමැති බවටත් ඔහු අනාවරණය කළා.

පාරිභෝගිකයන්ට තමන් පරිභෝජනය කරන පොල්තෙල් මොනවාදැයි දැන ගැනීමට අයිතියක් ඇති බවත් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක වන නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තවමත් උනන්දු වී නොමැති බවත් පාරිභෝගික කටයුතු අධිකාරියට, පොල් සංවර්ධන අධිකාරියට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම ගැටලුව විසඳීමට නීත්‍යනුකූල බලය ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට තරම් හේතුවක් නොමැති බවටත් රටේ පොල්තෙල් හිඟයක් ඇති වීම පිළිබඳවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා කළ ප්‍රකාශ ද ඔහු විවේචනය කළා.

“මෙම ආනයනික තෙල්වල බැර ලෝහ අපද්‍රව්‍ය නිශ්චය කිරීම සඳහා නිශ්චිත පරීක්ෂණ සිදුකර නොමැති විට ඔවුන් එවැනි සහතිකයක් ලබා දෙන්නේ කෙසේද? ඇතැම් රාජ්‍ය නිලධාරීන් දූෂිත ආනයනකරුවන්ගේ මහජන සම්බන්ධතා නියෝජිතයන් ලෙස ක්‍රියා කරන බවක් පෙනෙනවා.” යැයි ඔහු පැවසුවා.

සමස්ත ලංකා සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයට අනුව දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් 2,500කට අධික සංඛ්‍යාවක් සිටින අතර සංගමයේ සාමාජිකයන් 235ක් සිටිනවා.

මෙම සාමාජිකයන්ට මසකට පොල්තෙල් මෙට්‍රික් ටොන් 25,000ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති අතර එය දේශීය ඉල්ලුම වන මෙට්‍රික් ටොන් 12,500 මෙන් දෙගුණයක් බව ද අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *