ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත්කිරීමට යෝජනා වී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ නම මෙසේ යෝජනා වී තිබෙන බව පොලිස් අභ්‍යන්තර තොරතුරු උපුටා දක්වමින් ‘දිනමිණ’ වාර්තා කරනවා.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම ආධුනික කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් තිදෙනා අතර ද සිටින ඉමේෂා මුතුමාල ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස පොලිස් සේවයට එක්වන්නේ 2007 වසරේ නොවැම්බර් 03 වැනිදායි.
2017 වසරේ මාර්තු 23 වැනිදා පොලිස් අධිකාරීවරියක් ලෙස උසස් වීම් ලැබූ ඇයට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති ධුරය කාන්තා නිලධාරීන්ට විවර වන්නේ නම් එම තනතුර දක්වා ඉහළට යාමට හැකියාව ද පවතිනවා.
ඇය වයස අවුරුදු 60න් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2041 වසරේදී.
ඇය රුහුණු විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (BSc) සහ විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LLB) උපාධිය ලබා ගත්තා.
පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස සේවයේ නිරතව සිට ඇති ඉමේෂා මුතුමාල පොලිස් නිෂ්කාශන අංශයේත් කලක් සේවය කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශ අධීක්ෂණ නිලධාරිනිය ලෙස ද ඇය කලක් කටයුතු කර තිබුණා.
ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස පත්කරනු ලබන්නේ 2021 වසරේ ජූනි මාසයේදී.
පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අර්බුද කළමනාකරණ පාඨමාලාව ද තායිලන්තයේදී FBI ආයතනය මගින් පවත්වන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පාඨමාලාව ද මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේ ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාව මෙන්ම ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේ ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාව ද ඇය හදාරා තිබෙනවා.
මේ හැරුණු කොට ඉන්දියාවේදී අන්තර්ජාල අපරාධ පිළිබඳ පාඨමාලාව ද ඇය හදාරා තිබෙනවා.
ඉමේෂා මුතුමාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙස යෝජනා වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ධුරයට මේ වන විට නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල නම් කර තිබෙන බව වාර්තා වෙනවා.