Wed. Apr 30th, 2025

ජයිශංකර් යන්න කලින් විපක්ෂයේ දෙන්නෙක් හමුවෙලා

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් විපක්ෂ කණ්ඩායම්වල ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනකු සමඟ ඊයේ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කළා.

මෙම හමු පිළිබඳව අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය ඉදිරියට ගෙනයෑම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ පූර්ණ සහය අපේක්ෂා කරන බවයි.

“ආචාර්ය ජයිශංකර් ශ්‍රී ලංකා සංචාරයේදී හමුවීම සතුටක්. ඔහු නිතරම පවසන පරිදි ශක්තිමත් සහ සමෘද්ධිමත් අසල්වැසි රාජ්‍යයක් සැමගේම බලාපොරොත්තුවක්. කලාපීය සංවර්ධනය සඳහා අපගේ අන්‍යෝන්‍ය අවශ්‍යතා සඳහා සහාය වන අතරම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය ඉදිරියට ගෙනයෑම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.” යැයි X පණිවිඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස පවසා තිබුණා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ තම පාලන කාලය තුළ ඉන්දියාව සමඟ ඇති කර ගත් ශක්තිමත් සබඳතාව නව රජය අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසේදී මෙම හමුව සිදුවූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන ද ඊට සහභාගි වී තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *