Sat. Jun 28th, 2025

“අනුරට සහය දෙන්න” එරික් සොල්හයිම් ඉල්ලයි

සාමකාමී, බහු වාර්ගික හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවට සහාය දිය යුතු බව නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ හිටපු දේශපාලනඥයකු වන එරික් සෝල්හයිම් පවසා තිබෙනවා.

X සමාජ මාධ්‍ය වේදිකාවේ ඔහු පළ කළ පණිවිඩයක සඳහන් වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්ව සති දෙකක් පමණක් ගත වී ඇති අතර ඔහු එම කාලයේ හොඳින් කටයුතු කර ඇති බවයි.

“ඔහුට රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වය හරියටම ලැබුණා. මුලින්ම ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවී, පසුව චීන තානාපතිවරයා හමුවුණා. ශ්‍රී ලංකාවට ඉන්දියාව වඩාත්ම වැදගත් බව හඟවා තිබෙනවා. ඊළඟට තමයි චීනය. පසුව ඔහු බටහිර, රුසියාව සහ තවත් සෑම තැනකම තානාපතිවරුන් හමු වුණා. මෙය යහපත් විදේශ ප්‍රතිපත්තියක පැහැදිලි සංඥාවක්. දිවුරුම් දුන් වහාම මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට සහ මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. පසුව ඔහු දෙමළ සහ මුස්ලිම් දේශපාලන හා ආගමික නායකයන් හමුවුණා. සියලුම වාර්ගික ප්‍රජාවන් සඳහා ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම පිළිබඳ ඔහුගේ අවධාරණය ප්‍රබලයි.” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණා.

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කළ හැකි බවත්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ දුප්පතුන්ගේ අවස්ථා වැඩිදියුණු කිරීමට අවශ්‍ය සම්පත් ගෙන ඒමට හැකි වන්නේ ව්‍යාපාරිකයන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් පමණක් බවටත් ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාව වෙත අවධානය යොමු කළ බව සෝල්හයිම් පවසා තිබේ.

“ඔහු රාජ්‍ය බලයට දූෂිත නොවන හරයක් ගෙන ඒවි. ඇමතිවරුන්ට සුඛෝපභෝගී මෝටර් රථ දීමනා අඩු කිරීමෙන් ඔහු නායකයන්ට වඩා නිහතමානී ජීවන රටාවක් අඟවා තිබෙනවා. මේ කිසිවකින් ලංකාවේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එය රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර වාමාංශික නායකයකුට ඇති සියලු සැක සංකා දුරු කරන එකක් නැහැ. නමුත් එය හොඳ ආරම්භයක් බව සහතිකයි. සෑම කෙනෙකුම දැන් තම දෑත් ඔසවා සාමකාමී, බහු වාර්ගික, හරිත හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ඔහුට උදව් කළ යුතුයි.” යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *