Sat. Jun 28th, 2025

හරිනිට පේන්න සද්ද නැතුව විරෝධයක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු කාන්තා දේශපාලනඥයන්ට එරෙහිව සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුකරන බව කියන අපහාසාත්මක ප්‍රචාර පිළිබඳ සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙස බලකරමින් කොළඹ පිහිටි අගමැති කාර්යාලය ඉදිරිපිට සාමකාමී නිහඬ විරෝධතාවක් පැවැත් වී තිබෙනවා.

දේශපාලන ක්ෂේත්‍රයේ සහ සිවිල් සංවිධාන නියෝජනය කරන කාන්තාවන් පිරිසක් ඊයේ (3) පැවැත්වූ මෙම සාමකාමී විරෝධතාවේදී අදාළ ඉල්ලීම සිදුකර තිබුණේ කාන්තා, ළමා හා යෞවන කටයුතු ඇමැතිවරිය වන අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙතයි.

1956දී හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක විසින් සිදු කරන ලද සමාජීය වෙනස්කම් නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වැනි සාමාන්‍ය පසුබිමක පුද්ගලයකුට මෙවන් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූ බවට චන්ද්‍රිකා කුමාරතුංග කළ ප්‍රකාශයකින් පසුව ඇයව විවේචනය කරමින් සමාජ මාධ්‍ය වේදිකාවල පෝස්ට් කිහිපයක් පළ වී තිබුණා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විරෝධතාවයට එක් වූ මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ නීතීඥවරියක වන නිමල්කා ප්‍රනාන්දු මෙසේ ප්‍රකාශ කළා.

“මෙය ජනාධිපතිට, අගමැතිට හෝ රජයට එරෙහි ක්‍රියාවක් නොවේ. නමුත් දේශපාලනය ගැන කතා කරන කාන්තාවන් ඔවුන්ගේ ලිංගිකත්වය සහ සමාජ තත්ත්වය වැනි අංශ පිළිබඳ අදහස් දක්වමින් අතිශය අගෞරවනීය ලෙස විවේචනය කරන ප්‍රවණතාවක් තිබෙනවා. එවැනි ව්‍යාපාරවල ඉලක්ක කරගෙන තිබෙන්නේ අපිවයි. මේවා පටගනිද්දීම අවසන් කළ යුතුයි. ආචාර්ය අමරසූරිය කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බොහෝ දේ කර ඇති බව අපි දන්නවා. ඔවුන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාන්තා අයිතිවාසිකම් තහවුරු කිරීමට ඔවුන්ගේ සැලසුම් පවා දක්වා තිබෙනවා. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ එම පොරොන්දු ක්‍රියාත්මක කරන ලෙසයි.”

වින්දිතයන් පොලිසියට ගොස් පැමිණිලි කර නඩු පවරන තෙක් බලා නොසිට රජය මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක කළ යුතු බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා.

විරෝධතාව අතරතුර හිටපු ඇමැතිවරුන් වන ෆෙරියල් අෂ්රෆ්, සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය තාරා ද මෙල් ඇතුළු ක්‍රියාකාරීන් 50කට අධික පිරිසකගේ අත්සනින් යුත් ලිපියක් ද අගමැති කාර්යාලය වෙත භාර දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *