හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ යුක්තිය මෙහෙයුම අතරතුරදී නීතිඥවරියකගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දමා අඩන්තේට්ටම් කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සමාව ගෙන තිබෙනවා.
මෙම සිද්ධියට මුහුණ දුන් නීතිඥවරිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී දෙපිරිස අතර සමථයක් ඇති වීමෙන් පසුව මෙලෙස කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට පොලිසිය ක්‍රියාකළ බවයි වාර්තා වූයේ.
සෙල්වරාජ් රාජපාන්ඩි නමැති අයගෙන් මෙසේ සමාව ඉල්ලා සිටියේ මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් දිසානයක, ප්‍රේමරත්න, රත්නසිරි, සේනාධීර සහ නානායක්කාර නමැති අයයි.
පෙත්සමේ සඳහන් පරිදි, පසුගිය ජනවාරි 16 දා යතුරුපැදි වලින් පැමිණි මේ පිරිස සෙල්වරාජ් පැමිණි රථය හරස් කර අපි පොලිසියෙන් යැ යි පවසා ඔහුට මාංචු දමා තිබෙනවා. මේ අවස්ථාවේ මේ පිරිස සිවිල් ඇඳුමෙන් සැරසී සිටි බවයි පෙත්සමේ වැඩිදුරටත් දැක්වෙන්නේ.