හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩලය සඳහා ගරු සේවා පදනම යටතේ තමාට පත්වීම් ලිපියක් ලබාදුන්න ද එම ගරු තනතුර තමන් භාර නොගත් බව ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබෙනවා.
පෞද්ගලික හේතූන් මත තමන් එම තනතුර ගැනීමට කටයුතු නොකරන බව ඒ දිනවලම ජනාධිපති ලේකම්වරයාට සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකටත් දැනුම්දුන් බව ද ඔහු සඳහන් කරනවා.
ගරු තනතුර භාර ගන්නේ නම් ලිඛිතව ඒ බව සනාථ කරන ලෙස අදාළ පත්වීම් ලිපියේ පැහැදිලිවම සඳහන්ව තිබූ බවත් තමන් එම තනතුර භාරගැනීමට එකඟ නොවූ නිසා එවැනි සනාථ කිරීමක් සිදු නොකළ බවත් ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු පවසනවා.
එහෙත් පසුව මේ තනතුර සම්බන්ධව ලිඛිතව ජනාධිපති කාර්යාලයෙන් තමා වෙත දැන්වූ පසු සියලුම අදාළ අංශවල දැනගැනීම සඳහා අදාළ තනතුර භාර නොගත් බව ලියාපදිංචි තැපැලෙන් දැනුම්දුන් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව ගරු තනතුරක් වුවද එම තනතුර භාර නොගත් නිසා ඒ වෙනුවෙන් කිසිඳු වැටුපක් හෝ දීමනාවක්, රජයෙන් වැටුප් ලබන රියදුරු ආරක්ෂක හෝ වෙනත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සේවය, වාහන හෝ කාර්යාල උපකරණ, දුරකථන හෝ අන්තර්ජාල පහසුකම් වැනි මහජන මුදල් වැයවන කිසිදු දෙයක් තමා ලබාගෙන නොමැති බව ද ඔහු අවධාරණය කරනවා.
එහෙයින් අදාළ කාර්ය මණ්ඩලය සම්බන්ධව සිදු කරන ප්‍රකාශ කිසිවක් තමන්ට අදාළ නොවන බව ඉතා වගකීමෙන් සඳහන් කරන බව ද ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු වැඩි දුරටත් පවසනවා.
පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනකට අනුව ඔහුට හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස නම් කර තිබුණා.