Fri. Jun 27th, 2025

කොළඹට තරඟ වදින්න සජබෙ ඇතුළෙ තරඟයක්

සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවට බොහෝ දෙනෙක් ඇතුළත්වීමට බලාපොරොත්තුවෙන් සිටීම හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටලු රැසක් ඇතිව තිබෙනවා.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද සමගි ජනබලවේගය සමග එක්වීමේ සූදානමකින් සිටිනවා.

ඒ අනුව ඔහුගේ නම කොළඹ ලැයිස්තුවට ඇතුළත් කළහොත් පක්ෂයේ ප්‍රභලයින් කිහිප දෙනෙක්ම දැඩි කළකිරීමට ලක්වන බවට පක්ෂ අභ්‍යන්තර තොරතුරු පවසනවා.

එමෙන්ම කලක් විමල් වීරවංශගේ පක්ෂයේ සාමාජිකයෙකු වූ පසුව වාසුදේවගේ පක්ෂයේද නායකයා වී මේ වන විට සමගි ජන බලවේගයේ ආධාරකරුවෙකු ලෙස කටයුතු කරන නිරෝෂන් ප්‍රේමරත්න ද කොළඹ ලැයිස්තුවට ඇතුළත් කිරීමේ සූදානමක් පවතිනවා.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 12ක් හිමි වූ අතර සමගි ජන බලවේගයට ආසන 6ක් හිමි වුණා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස, එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, හර්ෂ ද සිල්වා, චම්පික රණවක, මනෝ ගනේෂන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවා.

මනාප ලබාගත් පිළිවෙල අනුව එම ලැයිස්තුවේ සිටි අනෙකුත් අය වන්නේ ඒ.එච්. එම්. ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුමිත් එරන්දික වැලිඅංගේ, ජෙනගන් විනයාර්ගමූර්ති, සුජීව සේනසිංහ, ලොෂාන් ලෙනාර්ඩ් කරුණාරත්න, කණිෂ්ක සේනාරත්න (රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා), ක්‍රිෂාන්ත යෝගදාස්, නිරෝෂන් පාදුක්ක, ජයන්ත ද සිල්වා, අනුරාධ විමලරත්න, සාගර සේනාරත්න, චන්න විකුම්, රණගලගේ අතුලසිරි, මහේෂ් විජයරත්න, ලලිත කොඩිතුවක්කු යන අයයි.

මෙයින් ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ.එච්. එම්. ෆවුසි එක්සත් ජාතික පක්ෂයට සහය දක්වනවා.

මීට අමතරව පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජගත් කුමාර ද මේ වන විට සමගි ජනබලවේගයට සහය දක්වනවා.

ඒ අනුව ඔහුටද සමගි ජනබලවේගය පක්ෂයේ කොළඹ ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබාදුනහොත් තත්ත්වය තවත් බරපතල වනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *