ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු හදිසියේ පැය 14ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණය නිෂ්ඵල සහ අනවශ්‍ය ක්‍රියාවක් බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක සැන්චෙස් අමෝර් ප්‍රකාශ කළා.
නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් සිය මෙහෙවරෙන් පසු මාධ්‍ය අමතමින් සඳහන් කළේ සෙනසුරාදා රාත්‍රී 10 සිට පසුදා උදේ 6 දක්වා රජය ඇඳිරි නීතිය පැනවීමට හා එය දහවල් 12 දක්වා දීර්ඝ කිරීමට හේතුවක් පෙනෙන්නට නොතිබූ බවයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළා.
“මෙරට ඉතිහාසයේ ඉතාම සාමකාමීම මැතිවරණ ක්‍රියාවලිය මෙය බව මැතිවරණ කොමිෂන් සභාව කියන රාජ්‍ය ආයතනය විසින් කියපු දවසේම ඇඳිරි නීතිය දැම්මා. මේක ගැළපෙන්නේ නෑ. මැතිවරණ කොමිසම කියන්නේ රාජ්‍ය ආයතනයක්. මේක ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය කියලා තියෙද්දී ඇඳිරි නීතිය දැමීම නිසා කොහෙවත් යන්න වෙලාවක් නැතුව හදිසියේම අපේ කණ්ඩායම්වලට හෝටලයට යන්න කියන්න වුණා. මේ වැඩකට නැති අනවශ්‍ය ඇඳිරි නීතියක් ඡන්දදායකයන්ගේ විශිෂ්ට හැසිරීම සමඟ ගැළපෙන්නේ නෑ.”
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම ඔක්තෝබර් මැද දක්වා ක්‍රියාත්මක වන බවත් නව පරිපාලනය සඳහා නිර්දේශ මාලාවක් ඇතුළත් වාර්තාවක් ද ඔවුන් විසින් නිකුත්කිරීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.