Sat. Jun 28th, 2025

ඇඳිරි නීතියටවත් යටත් නොවුණ ක්‍රිකට්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අද නිමාවට පත් වුණා.

ජනාධිපතිවරණය නිසා ඊයේ දිනය තරඟයේ විවේකී දිනයක් ලෙස නම් කර තිබූ අතර සිව් වන දිනය ලෙස අද දිනයේදී තරඟය පැවැත්වුණේ දහවල් 12 දක්වා රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති පසුබිමකයි.

සිව් වන දිනය ආරම්භ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 309කට සීමා කරන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50ක් සහ නායක ධනංජය සිල්වා ලකුණු 40ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් වූ අජාස් පටෙල් මෙම ඉනිමේ කඬුලු 06ක් බිඳ හෙලුවා. විල් ඕ‘රොව්කි කඬුලු 03ක් බිඳ හෙලුවා.

ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම දිනය නිමා වන විට කඬුලු 08ක් දැවී ලකුණු 207ක් ලබා සිටියා.

රචින් රවින්ද්‍ර නොදැවී ලකුණු 91යි.

ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් කඬුලු 03 බැගින් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා නවසීලන්තය හෙට දිනයේදී ලකුණු 68ක් ලබා ගත යුතුයි. ඉතිරි කඬුලු 02 දවා ගතහොත් ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙනවා.

හෙට තරඟයේ අවසන් දිනයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *