සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පැවසුවා.
අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මෙසේ සඳහන් කළා.
“විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පරීක්ෂණ කටයුතුවල සියලුම ප්‍රතිඵල ලැබිලා අපි තීරණයක් ගන්නා තෙක්. එතෙක් ප්‍රතිඵල නිකුත් කරන්නට අදාළ කටයුතු සිදු කරන්නේ නැහැ. ඒවා අපි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.”
අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට කරුණු හෙළිවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කළා. ඒ මූලික පරීක්ෂණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර ඒ හරහා ද පරීක්ෂණ සිදුකරමින් තිබෙනවා.
5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු කිරීමට හැකි බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය පැවසුවා.
ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළා.
“ඒ වගේම අපිට වාර්තා වෙලා තිබෙනවා උපකාරක පන්ති ගුරුවරුන් නීති අනුව කටයුතු නොකර විභාගයට පෙර දිනවලදී ද අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර ඇති බව. ඒ අනුව ඒ සම්බන්ධයෙනුත් මේ වනවිට විනයානුකූල පියවර ගැනීමට සූදානමින් ඉන්නවා. මේ ප්‍රශ්න පත්‍රය පිටවී තිබෙනවා නම් ඊට වගකියයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට අපි කටයුතු කරනවා.”