කුඩා වස්කඩුව,වැල්ලබඩ ප්රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි නේපාල ජාතික කාන්තාවකගේ හෝටල් කාමරයට පෙරේදා (19දා) අලුයම 1.18ට පමණ ඇතුළු වී ඇති පුද්ගලයකු ඇයට පිහියක් පෙන්වා මරණ තර්ජන කොට ලිංගික අතවර කිරීමට තැත් කර ඇය සතු රුපියල් ලක්ෂ 5,31,906.14ක් වටිනා මුදල් හා දේපළ කොල්ල කා පලා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙරට සමාගමක චීන භාෂා පරිවර්තිකාවක ලෙස කටයුතු කරන නේපාලයේ,කත්මණ්ඩු නුවර පදිංචි නිමා ටැමන්ග් යන අය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඉකුත් පෙබරවාරි 15 වැනිදා මෙරටට පැමිණි තමා මිතුරියක සමග මෙම හෝටල් කාමරයේ නවාතැන් ගෙන සිටින බවත් ,සිද්ධිය වනවිට මිතුරිය කාමරයෙන් බැහැර ගොස් සිටි අතර තමා කාමරයේ ඇඳ මත සිට ජංගම දුරකථනය බලමින් සිටි බවත් ඇය පොලිසියට ප්රකාශ කර තිබේ.
එකවරම අඩවන් කර තිබූ දොරෙන් ඇතුළුවූ පිරිම් පුද්ගලයකු ඉනේ ගසාගෙන සිටි පිහියක් ගෙන මරණ තර්ජන කොට ,ඩොලර් ඉල්ලා සිටි බවත් ,පසුව තමා සේවය කරන ආයතනයෙන් කුලී රථයට ගෙවීම සඳහා ලබාදී තිබූ රුපියල් 1,80,000ක් ,තමන් සතුව තිබූ රුපියල් 3000ක් ,රුපියල් 67500ක් වටිනා කැරට් 24 රන් මුදුවක් , රුපියල් 15000ක් වටිනා රිදී මුදුවක්, ඉන්දීය රුපියල් 100ක් හා ඩොලර් 01ක් ජංගම දුරකථන 02ක් කොල්ල කෑ බව ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ.
ඉන්පසු සැකකරු තමා ස්පර්ශ් කිරීමට තැත් කරනවිට නාන කාමරයට වැදී දොර වසා ගත් බවත් යළි පිටතට පැමිණියේ කාමරය තුළින් මිතුරියගේ කටහඬ ඇසුණු පසුව බවත් ඇය පොලිසියට ප්රකාශ කර ඇත.