Sat. Jun 28th, 2025

මැතිවරණ කොමිසමට එරෙහිව අපේක්ෂකයෙකුගෙන් පැමිණිල්ලක්

මැතිවරණ කොමිසමේ හම්බන්තොට සහකාර කොමසාරිස්වරයා අපේක්ෂකයකු වන තමාගේ පස්සෙන් පැන්නීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් පවසමින් ජනාධිපති අපේක්ෂකයෙකු වන ප්‍රේමසිරි මානගේ පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

‘දිවයින’ වාර්තා කළේ ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමට තමාට අයිතියක් ඇති බව හුවා දක්වමින් ඔහු විසින් ඊයේ (17) දහවල් 1.30ට පමණ තිස්සමහාරාම පොලිසියට මෙම පැමිණිල ගොනු කර ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා තමා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින බවත් 17 වැනිදා තමන් පන්නෙගමුව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ බවත් එහිදි එම ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් සාකච්ඡාවක නිරතව සිටි බවත් ඔහු සිය පැමිණිල්ලේ  සඳහන් කර තිබෙනවා.

එම පිරිස වචන කිහිපයක් කතා කර යන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත් එය ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා තමන් ඔවුන් හමු වී කෙටි වේලාවක් කතා කර එම ස්ථානයෙන් පිටව ගිය බවත් ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙනවා.

තමන් එම ස්ථානයෙන් පිටව ගිය පසු එම ස්ථානයට පැමිණ ඇති හම්බන්තොට මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ තමා පිළිබදව විමසා ඇති බවත් එම විමසීම තුළ තමා අපරාධකරුවෙකු ලෙස හුවා දක්වමින් තමාගේ කීර්ති නාමයට බලවත් හානියක් සිදු කර ඇති බවත් ප්‍රේමසිරි මානගේ අවධාරණය කරනවා.

ඔහු තව දුරටත් පෙන්වා දී ඇත්තේ මැතිවරණ නිලධාරීන් පැමිණ එලෙස ප්‍රශ්න කිරීම හමුවේ එම අවස්ථාවේ එහි සිටි ජනතාව ද භීතියට පත්ව ඇති බවයි.

ඒ අනුව තවත් අයෙකු මේ අයුරින් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීමට මැතිවරණ නිලධාරීන්ට කිසිදු අයිතියක් නොමැති බව ද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.  

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් හම්බන්තොට මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පැමිණිල්ලක් සිදු කළ බව කියන අපේක්ෂකයා දිගින් දිගටම මැතිවරණ ආචාර ධර්ම කඩකිරිම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයකට අදාළව ඔහු හමුවට ගිය නමුත් ඔහු හමු විය නොහැකි වූ බවයි.

සිදුකර ඇති පැමිණිල්ලට අනුව කිසිඳු අපහාසයක් හෝ ඔහුගේ මානව හිමිකම් කඩ කිරිමක් සිදු නොවූ බව ද මැතිවරණ ආරවුල් නිරාකරණය මධ්‍යස්ථානය අවධාරණය කර සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *