දෙවසරක් තුළ ශ්‍රී ලංකාවෙන් හමු වූ දෙවැනි සමූහ සුසානය වන කොළඹ වරාය මිනී වලේ පළමු අදියරේ කැනීම් කටයුතු දින අටකට පසු කල් දමන විට අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනකුට අයත් ඇටසැකිලි මතුකරගෙන ඇති බව වාර්තා වෙනවා.
සැප්තැම්බර් 5 වැනි බ්‍රහස්පතින්දා කැනීම් ආරම්භ කළ කොළඹ වරාය සමූහ සුසානයේ කැනීම් කටයුතු සැප්තැම්බර් 13 වැනිදා සිකුරාදා දහවල් තාවකාලිකව නතර කරන විට අඩුම වශයෙන් තවත් හිස් කබල් හතරක් පමණ කැනීමේ වලෙහි තිබෙනු දැකගන්නට ලැබුණි.
අගනුවර අධි ආරක්ෂක කලාපයක් තුළ පිහිටි කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන් හමුවූ සමූහ සුසානයෙන් මතු කර ගත් මිනිස් ඇට සැකිලි දෙකෙන් එක සැකිල්ලක හිස් කබල දැක ගන්නට නොමැති අතර කැනීම් කටයුතු සැප්තැම්බර් 25 වැනිදා යළි ආරම්භ කරන බව විමර්ශකයන් විසින් දැනුම් දී තිබෙනවා.
කැනීම් කටයුතු සිදු කළ දිනවලදී ගොඩ ගත් කුඩා අස්ථි කොටස් මේ වන විට ගබඩා කර ඇත්තේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුල බවයි වාර්තා වන්නේ.
සමූහ සුසානය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවනු ලබන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේ සහ පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව විසින්.
කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී 2024 ජුලි මස 13 වැනිදා පළමු වරට මිනිස් අස්ථි කොටස් හමු වී තිබුනේ කොළඹ වරායේ පිහිටි පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන්.
ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරු ඉදිරියේ 2024 සැප්තැම්බර් 05 වැනි බ්‍රහස්පතින්දා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කළා.
මුලතිව්, කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් 2023 ජුනි අගදී අහම්බෙන් හමු වුණ කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් පනස් දෙදෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත 2024 ජුලි 15 වැනිදා වසා දැමුණා.
