යාපනය මිරුසුවිල්හිදී කුඩා ළමයකු ඇතුළු සාමාන්‍ය වැසියන් 8 දෙනකු 2000 වසරේදී මරාදැමීමේ චෝදනාවට මරණ දඬුවම් නියමව සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නියම කරමින් නොතීසි දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) තීරණය කළේය.
එසේම එකී සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස නියම කරමින් යුද හමුදා සැරයන් සුනිල් රත්නායකටද නොතීසි යැවීමට නියම කෙරිණි.
මහාධිකරණය විසින් පනවන ලද මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කර තිබියදීත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දී එම හමුදා නිලධාරියාට සමාව දීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ පෙත්සම් කාර පාර්ශ්වය කළ ඉල්ලීමකට අනුව මෙලෙස නොතීසි නිකුත් කිරීමට තීරණය කෙරිණි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණු අතර, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මේ පෙත්සම කැඳවනු ලැබිණි.
මේ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති සමාව ලබා නිදහස් වූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායකට මේ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා නොතිසි නිකුත් කිරීමට අවසර දෙන ලෙස
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් ඉල්ලා සිටියේය.
මේ ඉල්ලීමට අවසර දීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය. කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම සැප්තැම්බර් 4 දා කැඳවන ලෙස නියම කෙරිණි.
2000 වසරේ දෙසැම්බර් මස යාපනයේ උතුරු මිරිසුවිල් හිදී කුඩා ළමයකු ඇතුළු දෙමළ ජාතිකයින් පිරිසක් ඝාතනය කිරීම ඇතුළු චෝදනා 19ක් යටතේ සුනිල් රත්නායක ඇතුළු හමුදා නිලධාරීන් පස්දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. ඒ නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වසර 12ක දීර්ඝ නඩු විභාගයකින් පසු 2017 මැයි 20 දා එහි තීන්දුව ප්‍රකාශ කරමින් සුනිල් රත්නායක චෝදනාවලට වරදකරු බව තීරණය කර මරණ දඬුවම නියම කළේය. එයට එරෙහිව සුනිල් රත්නායක නමැත්තා ගොනු කළ ඇපෑල විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලද මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් ඇපෑල නිෂ්ප්‍රභ කළේය. අනතුරුව මරණීය දණ්ඩනය සියම වී සිටි සුනිල් රත්නායකට 2020 වසරේ මාර්තු 26 දා ජනාධිපති සමාව පිරිනැමීම සිදු විය.
පෙත්සම්රු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේ අධිකරණය විසින් වරදකරු කරනු ලබන පුද්ගලයන්ට සමාව ප්රදානය කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබෙන බවයි. ඒ සමාව ප්රදානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීතිමය පටිපාටියක් පවතින නමුත් මේ වරදකරුට ජනාධිපති සමාව ප්රදානය කිරීමේදී ඒ ක්‍රියාවලිය අනුගමනය කර නැති බවට පෙත්සම මගින් පෙන්වා දී ඇත. එබැවින් ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සමෙහි සදහන් වේ. මේ ක්‍රියාවෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වන බව සඳහන් කරමින් මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.