ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) ගෙන ඇතැයි පැවසෙන තීරණය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ පක්ෂ සාමාජිකයන් විසින් සිදු කර තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහය දීමට ඊයේ (02) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී තීන්දු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළා. ITAK ජ්‍යෙෂ්ඨ උප සභාපති සී. වී. කේ. සිවඥානම් ඉදිරිපත් කළ යෝජනාව බෙදීමකින් තොරව සම්මත වූ බවයි ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ.
කෙසේ වෙතත් ITAK වැඩබලන සභාපති මාවෙයි සේනාධිරාජා පවසන්නේ මෙය තමන් ඇතුලු මුල් පෙළ නායකයන් කිහිප දෙනෙකු නොමැති සභාවක දෙතුන් දෙනකු ගත් තීරණයක් මිස පක්ෂයේ නිල මතය නොවන බවයි.
මධ්‍යම කාරක සභාව පවත්වා ඇත්තේ දෙමළ අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින ITAK නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ද විදේශගතව සිටින අවස්ථාවක බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
දෙමළ අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්රන්ට එම්. ඒ. සුමන්දිරන් නිරන්තරයෙන්ම විරෝධය දැක්වුවා.
කෙසේ වුවත් විපක්ෂ නායකවරයා තමන්ට සහාය දීම පිළිබඳව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ස්තුතිය පළ කරමින් සමාජ මාධ්‍ය සටහනක් ද පළ කර තිබුණා.
