Mon. Jun 30th, 2025

ජනපති ලේකම්ට එරෙහි චෝදනා බලරහිත වෙයි

Aug9,2024

පසුගිය රජය සමයේ පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලු පරීක්ෂණ කොමිසම, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුලු පිරිසකට එරෙහිව සිදුකළ නිර්දේශ සහ සොයා ගැනිම් බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මූලික අයිතිවාසිකම් කඩවීම හේතුවෙන් ජනාධිපති ලේකම් ඇතුළු පිරිසට වන්දි ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළා.

දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීම සදහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ පරීක්ෂණ කොමිසම ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එහි හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර ඇතුලු පිරිසකට එරෙහිව සිදුකළ නිර්දේශ සහ සොයා බැලීම් බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

ඒ අනුව පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස්දහස බැගින් නඩු ගාස්තු ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියම කළා.

තමන්ට එරෙහිව අදාළ කොමිසම නිකුත් කළ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු පත්මිණි රණවක ගුණතිලක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, ආනන්ද විජේපාල, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුලු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණේ තමන්ගෙන් කරුණු විමසිමකින් තොරව, තමන්ට අගතිදායක ලෙස නිර්දේශ සහ සොයා ගැනීම් නිකුත් කිරීමට අදාළ කොමිසම ගනු ලැබු තීරණය නීතියට පටහැනි බවයි.

මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් සිදුකරනු ලැබු නිර්දේශ සහ සොයා ගැනිම් බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු මඩුල්ල වගඋත්තරකාර කොමිසමේ සාමාජිකයින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කළ නිර්දේශවලින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සදහන් කළා.

ඒ අනුව කොමිසම විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරනු ලැබු නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත බවට තීන්දු කරන බවත් විනිසුරුමඩුල්ල විසින් නිකුත් කළ තීන්දුවේ සදහන්.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ අදාළ කොමිසමේ සභාපති හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සාමාජිකයින් වන චන්ද්‍රා ජයතිලක, චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුලු පිරිසක් නම්කර තිබෙනවා.

විජිත් කේ. මලල්ගොඩ, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කරනු ලැබුවා.

නීතීඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම, නීතීඥ සුදර්ශන ගුණවර්ධන, නිතීඥ රාධා මලවිකාකුරුවිට බණ්ඩාර, නීතීඥ ශලනි වීරරත්න ඇතුළු නීතීඥ මණ්ඩලයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *