Sat. Jun 28th, 2025

අයිස් ජාවාරමක යෙදුන හම්බන්තොට මහ රෝහලේ භෞත චිකිත්සකවරයා

May7,2024

හම්බන්තොට, අම්බලන්තොට, තිස්සමහාරාම, සූරියවැව ඇතුළු අවට ප්‍රදේශ රැසකට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරතවූ හම්බන්තොට මහ රෝහලේ භෞත චිකිත්සකවරයකු (අතුරු වෛද්‍ය) අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 500ක් සමග තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (05 දා) රාත්‍රී හම්බන්තොටදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ භෞතචිකිත්සකවරයකු ලෙස සේවය කළ 40 හැවිරිදි එක්දරු පියෙකි.

සැකකරු සූරියවැව පොලපහළ පදිංචිකරුවකු වන අතර, දැනට කලක සිට සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ තාවකාලික පදිංචියේ සිටිමින් මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙනවා.

හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කෙරුණා.

එහිදී සාමෝදාගම පදිංචි පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 570ක් සමග අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේදී, එම පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ අතුරු වෛද්‍යවරයකු විසින් මෙම ජාවාරම මෙහෙයවන බවයි. ඒ අනුව හම්බන්තොට දොදොල් කඩ ප්‍රදේශයේ පිහිටි සැකකාර වෛද්‍යවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදි ඔහුගේ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරුවලට අනුව ඇඹිලිපිටිය පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු ද අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 470ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ භෞතචිකිත්සකවරයා විසින් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයෙන් අයිස් ග්‍රෑම් 01ක් රුපියල් 13000ක මුදලකට මිලදී ගෙනැවිත් හම්බන්තොටදී ග්‍රෑම් එකක් රුපියල් 25,000ක මුදලකට අලෙවි කරන බවයි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

අත්අඩංගුවට පත් භෞතචිකිත්සකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට මූලස්ථාන පොලිසියට භාර දී ඇති අතර සැකකරුවන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් සැරයන්වරුන්වන (70223) රසික, (71452)ඉන්දික, (72939)සංජය, (75587) අමිල හා පොලිස් කොස්තාපල්වරුන් වන (84229) සමන්, (91504) සඳරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *