අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා.
එසේම මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ අතර එහිදී අයදුම්පත් 454,924 ක් පමණ ලැබී තිබෙන බවත්, එම අයදුම්පත් සම්බන්ධ සංගණන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ප්‍රකාශ කළා.
ඒ මහතා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.
දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන බවත්, එම සෑම අයදුම්පතක්ම සංගණනය වෙනුවෙන් තොරතුරු රැස්කිරීම IWMS මෘදුකාංගය හරහා සිදුකරන බවත් ඔහු පෙන්වා දුන්නේ.
සෑම ග්‍රාමසේවා වසමක් සඳහාම සංගණන නිලධාරීන් පත්කර තිබෙන බව පැවසූ ඒ මහතා එම නිලධාරීන් අදාළ නිවෙස් වෙත ගොස් පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු නිරීක්ෂණය කොට ජංගම යෙදවුම හරහා සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයට ඇතුළත් කරන බවද සඳහන් කළා.
.
එම සංගණන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සංගණන අධීක්ෂණ නිලධාරියෙකු පත්කර තිබෙන බවද විජේරත්න මහතා ප්‍රකාශ කළා.
එසේම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළ ආකාරයට, සංගණන නිලධාරියා විසින් තොරතුරු පද්ධති ගතකළ පසුව සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ට ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඇති අයදුම්කරුවන්ගේ සම්පූර්ණ තොරතුරු නිරීක්ෂණය කළ හැකිය. එම සංගණනය අවසානයේ අදාළ පවුල්වල තොරතුරු තේරීම් කමිටු විසින් අධීක්ෂණය කරනු ලබනවා.
තේරීම් කමිටු විසින් සංගණනය කළ පවුල් තොරතුරු අධීක්ෂණය කර තෝරා ගැනීමේ නිර්ණායක ගණනය කිරීම සඳහා අනුමැතිය ලබාදීම සිදු කරනවා.
මෙලෙස තෝරා ගැනීමේ නිර්ණායක ගණනය කර දරිද්‍රතාවය ගණනය කිරීම සඳහා ලකුණු ලබාදීමක් සිදු කරන අතර එය අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික මට්ටම, වත්කම්, නිවාස තත්ත්වය සහ පවුලේ ජනවිකාශය යන මාන 06ක් ඔස්සේ විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදු කරනු ලබනවා
පසුව සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය පද්ධතිය විසින් සකස් කෙරෙනවා.
සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදීම සිදුකරන බවද සඳහන්
මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34 ක් පමණ ලැබී තිබූ අතර එයින් 1,854,000ක් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබීය. ඒ සඳහා රජය විසින් ලබාදුන් මුදල රුපියල් බිලියන 58.5 ක්.
මේ අතර අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ක්ෂේත්‍ර තොරතුරු එක්රැස් කිරීම කාර්යක්ෂම කිරීම සඳහා ඡායාරූප ගැනීම, භූ සිතියම් ගැනීම හා හඬ පටිගත කිරීමේ පහසුකම් ද සහිත නව ජංගම යෙදුම් මෘදුකාංගයක් (Mobile App) සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබෙනවා
මෙම ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් අයදුම් කිරීමේ දී සෑමවිටම නිවැරැදි තොරතුරු ලබාදෙන ලෙස ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ඉල්ලා සිටියා
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් වන කමල් පද්මසිරි, කුමා දුනුසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.