තමා අත්අඩංගුවට නොගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී i සංජීව මහානාම මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයදුම්පතට අදාළව මේ මස 22 වැනිදා විවෘත අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දක්වා, විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කළාය.
අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී i සංජීව මහානාම මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා, අපේක්ෂිත ඇප අයදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කරමින් දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමිනි.
අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා (අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම) අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.
එලෙස තම සේවාදායකයා (සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම) අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින්නේ, අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව බවට දැනගන්නට ලැබී ඇතැයි ද අධිකරණයට අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා ඒ අනුව තම සේවාදායකයා වෙනුවෙන් තමා ඉදිරිපත් කරන අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බලන ලෙස ද අධිකරණයෙන් අයැද සිටියේය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ සංක්ෂිප්ත කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කළේ මෙම ඇප අයදුම්පතට අදාළව විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වන ලෙසටත් අපේක්ෂිත ඇප අයදුම්පතට අදාළව විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසත්ය. අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී (i) සංජීව මහානාම මහතා පොලිස් දෙපාර්තමේන්තුවට කිසිදු පූර්ව දැනුම් දීමක් සිදු නොකර මැලේසියාවට ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මීට පෙර පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එලෙස සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා මැලේසියාවට ගොස් ඇත්තේ, පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඔහුට නිකුත් කර තිබූ රාජකාරි නිල පිස්තෝලය කටුනායක ගුවන්තොටුපොළේදී ඔහුගේ හිතවතකුට භාර දීමෙන් අනතුරුව බව ද එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් ප්‍රකාශ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සංජීව මහානාම මහතාගේ එම ක්‍රියාකලාපය පොලිස් දෙපාර්තමේන්තුවේ විනය නියෝගවලට පටහැනි බව ද කීවේය.
අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය, උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම යන මහත්වරුන් විසින් සැලසුම්සහගතව සිදු කළ එකක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා එහිදී තවදුරටත් පවසා සිටියේය.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාගේ නිල රාජකාරී පිස්තෝලය මේ වන විට විමර්ශනයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ.
ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ලබා දුන් නියෝගයකට අනුවය. අදාළ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් අධිකරණයට ලැබී නැත. මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණ නියෝග මත දැනට රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති සී.සී.ටී.වී. කැමරා සංඛ්‍යාව 13කි.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර සැකකරුවන් හඳුනා ගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මඟින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්රාත්වරයාට මීට පෙර දැන්වීය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මූලික විමර්ශන අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් සිදු කළ අතර, පසුව පොලිස්පතිවරයාගේ නියෝග මත සියලු විමර්ශන කටයුතු අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් ඉවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කෙරිණි.
අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත මුලින්ම ඉදිරිපත් කළේ, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා හමුවටය. අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම තම අධිකරණයේ රාජකාරී නඩු කටයුතු සඳහා ආ ගිය නිලධාරියකු බැවින් ඔහුගේ ඇප අයදුම්පත තමා ඉදිරියේ සලකා බැලීම නුසුදුසු බවට මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.
ඒ අනුව අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මිය හමුවට යොමු කරනු ලැබීය.
-දිනමිණ-