සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සිදුවූ ටැටූ මධ්‍යස්ථානය එම ස්ථානයේ ආරම්භ කිරීම සඳහා තමන්ට ‘ලොකු පැටී’ නමැති අපරාධකරුගෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් ලැබුණු බව එහි හිමිකරු පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ‘ලොකු පැටීගේ’ ඉල්ලීම මත තමා ක්ලබ් වසන්තට එය විවෘත කිරීමට ඇරියුම් කළ නමුත් මෙම ඝාතන සැලැස්ම ගැන දැන නොසිටි බවයි.
ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි.
එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නැමැත්තාද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.
ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන් වෑන් රථයකින් කඩුවෙල, නවගමුව හරහා පළායන අයුරු දැක්වෙන රූපරාමු පෙළක් ද හමුවී තිබෙනවා.
මේ අතර ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නමැත්තා ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පවසා ඇත්තේ, තමන් ටැටූ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට දැඩි කැමැත්තෙන් පසුවූ බවයි.
ඒ අනුව ලොකු පැටී නැමැති අපරාධකරු තමන්ට ඒ සඳහා රුපියල් ලක්ෂ 16ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාදුන් බවත් සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.
එම මුදල ලබාදී ලොකු පැටී නැමැත්තා පවසා ඇත්තේ, එම මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තාට ආරාධනා කරන ලෙසයි.
ඝාතන සිද්ධිය පිළිබඳ කිසිවක් නොදත් තමන් ඒ අනුව ක්ලබ් වසන්තට මේ සඳහා ආරාධනා කළ බවත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
ඔහුගේ සොයුරාගෙන් ද පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර මෙහිදී අත්අඩංගුවට ගත් සෙසු පිරිස වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ අය බවයි පොලිසිය පවන්නේ.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරිමේ මෙහෙයුම ඩුබායි හි සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බව විමර්ශනවලදී මේවන විට අනාවරණ වී තිබෙනවා.
කංජිපානි ඉම්රාන් නමැති අපරාධකරුගේ සෘජු සබඳතාවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු පිළිබඳව සැක පළකරන්නේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් පතොරම් කොපුවල සටහන් කර තිබූ KPI යන කෙටි යෙදුම හේතුවෙනි.
මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සෞඛ්‍ය තත්ත්වය මේවන විට යහපත් අතට හැරෙමින් පවතින බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා.
ඇයට පැය 4ක පමණ ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර ඒ සඳහා වෛද්‍ය කණ්ඩායම් 5ක් එක්වී තිබුණා.
වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ වම් පාදයට දරුණු තුවාල සිදුවී තිබුණා.
මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳව හෝමාගම රෝහලේ සිට කළුබෝවිල රෝහලට මාරුකර යවා තිබෙනවා.
ඇයගේ තත්ත්වය බරපතළ බැවින් මේ වන විටත් ඇය එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙක් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා විය.
මේ අතර ක්ලබ් වසන්තගේ හා කේ. සුජීවාගේ සැමියාගේ දේහයන් අද හෝමාගම රෝහලේදී ඥාතීන් වෙත භර දුනි.
රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ක්ලබ් වසන්තගේ සිරුරේ තිබී උණ්ඩ 8ක් හමුවී තිබෙනවා.
ඉන් තුනක් ඔහුගේ හිසෙහි තිබී සොයාගෙන ඇති අතර අනෙක් උණ්ඩ පහ පපුව් සහ උදරයෙහි තිබි සොයාගනු ලැබීය.
හිසට හා ඉනෙන් ඉහළට වැදුණු වෙඩි ප්‍රහාර හේතුවෙන් ඔහු මියගොස් ඇති බව එහිදී අනාවරණ වී ඇති අතර ඔහුගේ දේහය අනතුරුව කොළඹ පිහිටි මල් ශාලාවකට රැගෙනවිත් තිබෙනවා.
මේ අතර කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නමැත්තාගේ සිරුර අද පස්වරුවේ කේ. සුජීවාගේ දියණියන් විසින් භාරගනු ලැබීය.