Sun. Jun 29th, 2025

දොස්තරගේ ලක්ෂ 50ක දේපළවලට විද්ද සිකුරුටි

Jul9,2024

වැලිකඩ, රාජගිරිය ප්‍රදේශයේ වෛද්‍යවරයකුට අයත් නි‍වසක ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු වෛද්‍යවරයාගේ නි‍වසේ තිබූ රුපියල් ලක්ෂ පනහකට ආසන්න දේපළ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් සොරා ගත් පුවතක් වාර්තා වනවා.

ඔහු සොරකමෙන් පසු පලා ගොස් සැඟව සිටියදී වැලිකඩ ප්‍රදේශයේදීම සොරකම් කර තිබූ රන් ආභරණ හා විදෙස් මුදල් ඇතුළු දේපළ රැසක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 370ක් ද සමඟ අත්අඩංගුවට ගත් බවයි නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය පවසන්නේ.

රජයේ රෝහලක සේවයේ යෙදී සිටින වෛද්‍යවරයාට අයත් නි‍වසට රාජකාරි හේතූන් මත සතියකට එක් වතාවක් පමණක් නි‍වසට පැමිණීමට හැකියාව ඇති බැවින් නි‍වසේ හා දේපළවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිතූ වෛද්‍යවරයා කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ලබාදෙනු ලබන ආයතනයකින් ආරක්ෂක නිලධාරීවරයකු තම නි‍වසේ ආරක්ෂක කටයුතු සඳහා යොදවන ලෙස කළ ඉල්ලීමකට අනුව එම ආයතනයෙන් ලබාදුන් ආරක්ෂක නිලධාරිවරයා මෙම නි‍වසට පැමිණ නැවතී සේවය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

ආරක්ෂක නිලධාරිවරයා නි‍වසට පැමිණ මාසයක් පමණ ගතවන විට විටින්විට පැමිණෙන වෛද්‍යවරයාට තම නි‍වසේ ඇති වටිනා දේපළ අඩු වෙමින් පවතින බවට සැකයක් මතුවී ඇති බවත් ඊට ටික දිනකට පසුව ආරක්ෂක නිලධාරිවරයා නි‍වසින් පිටව ගොස් නැවත පැමිණ නැති බවත් ඒ අනුව ආරක්ෂාව සඳහා යොදවා සිටි පුද්ගලයා පිළිබඳව සැකසිතූ වෛද්‍යවරයා මේ පිළිබඳව වැලිකඩ පොලිස් ස්ථානයට හා නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ අනුව සිදු කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් සිදුකළ පුළුල් පරීක්ෂණයේදී සොරකම් කර තිබූ විදෙස් මුදල්, රන් ආභරණ, ටැබ් යන්ත්‍රයක්, අත් ඔරලෝසු, අත් පලඳනා, ජංගම දුරකතනයක් ඇතුළු රුපියල් ලක්ෂ පනහකට ආසන්න දේපළ රැසක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියා සිටියා

කුඩා පිහිතලයක ආධාරයෙන් වෛද්‍යවරයාගේ නි‍වසේ පිටුපස දොර විවෘත කළ ආරක්ෂක නිලධාරියා නි‍වසේ තිබූ භාණ්ඩ හා දේපළ දිනෙන් දින සොරකම් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට පත් සැකකාර ආරක්ෂක නිලධාරියා තංගල්ල, අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි 27 වැනි වියේ පසුවන අයෙක්.

සැකකරු පෞද්ගලික ආරක්ෂක ආයතනයේ සේවයට පැමිණ මාස දෙකක් පමණ වන බවත් තදින්ම හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයෙක් බවත් සිදුකළ මූලික විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වූ බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවේ පසුවන සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *