Sun. Jun 22nd, 2025

තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.5ක ආදායම් ඉළක්කයක්

Jul9,2024

මෙරට තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සඳහන් කරනවා.

පසුගිය වසර දෙක තුළ දී ද ඇමරිකන් ඩොලර් බිලියන 1 සිට 1.2 දක්වා වූ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට මෙරට තේ කර්මාන්තයට හැකි වී තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය ඉරිදා (07) තළවකැලේ ශාන්ත කුම්බ්ස් තේ කර්මාන්ත ශාලාව හා ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ ප්‍රගතිය සම්බන්ධව සමාලෝචන රැස්වීමක් පවත්වනු ලැබුවා.

2021 රසායනික පොහොර තහනම මෙරට තේ වගාවට ද බලපෑම් එල්ල කර තිබු අතර මේ නිසා 2022, 2023 වර්ෂවල දී තේ වගාව සඳහා පොහොර යෙදීම අඩු වී තිබුණා.

මේ නිසා තේ වගාවේ අස්වැන්නේ ද යම් අඩුවීමක් සිදු වුණා.

නමුත් මෙම වර්ෂයේ සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ සඳහා පොහොර සහන මිලකට ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

වෙළෙඳපළේ රුපියල් 14,000ක් පමණ වන තේ පොහොර වර්ග තුනක් කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 5500 සිට රුපියල් 7500 දක්වා මිලකට ලබා දීමට පියවර ගත්තා.

මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් මිලියන 1200ක මුදලක් වෙන් කරනු ලැබුවා.

ඒ අනුව මේ වනවිට අදියර තුනක් යටතේ තේ වගාව සඳහා පොහොර යෙදීම ආරම්භ කර තිබෙනවා.

පළමු අදියර යටතේ තේ පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් බෙදා දීමට නියමිත අතර මේ වනවිටත් ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් බෙදාහැර අවසන් කර තිබෙනවා.

තේ වගාව සඳහා පොහොර යෙදීම මෙන්ම පුරප්පාඩු ස්ථානවල පැළ රෝපණය මගින් ඉදිරි වර්ෂය තුළ තේ වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි මෙම සාකච්ඡාවට එක්වෙමින් නිලධාරිහු සඳහන් කළා.

මෙම වර්ෂය තුළ ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් තේ අපනයනය මගින් ඉළක්ක කර තිබෙනවා.

දැනට රටවල් 150කට ශ්‍රී ලංකාවේ තේ අපනයනය කරනු ලබන අතර ඉන් රටවල් 20ක් ම මහා පරිමාණයෙන් අපේ තේ මිල දී ගන්නවා.

මෙම සාකච්ඡාවේ දී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට තේ කර්මාන්තයේ සංවර්ධනය සඳහා දැනට වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණවත් වන අතර තවදුරටත් අලුත් ඉඩම් තේ වගාව සඳහා යොදා නොගන්නා බව ද සඳහන් කළා.

ඒ වෙනුව‌ට දැනට තේ වගා කර ඇති ඉඩම්වලින් ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි තේ වගාවන්ට පොහොර යෙදීම, පුරප්පාඩු පැළ රෝපණය, අධි ඝනත්ව වගා ක්‍රමය හඳුන්වා දීම මෙන්ම අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් තේ ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීම සදහා ද තේ පර්යේෂණ ආයතනය විසින් පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නා.

තළවකැළේ තේ පර්යේෂණ ආයතනය විසින් මේ වනවිට නව තේ ප්‍රභේද 70ක් හඳුන්වා දී තිබෙනවා.

මෙම තේ ප්‍රභේද අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රභේද බව ද තේ පර්යේෂණායතනය පෙන්වා දෙනවා.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට තේ පර්යේෂණ ආයතනයේ නිලධාරින් පිරිසක් මෙන්ම ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්.එල්. අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *