මූලස්ථානයට ගිය අවස්ථාවේදී තමාට බාධා කළ සියලු දෙනාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර නඩු පවරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.
එමෙන්ම පක්ෂ මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට හැකිවන පරිදි අධිකරණයේ මැදිහත්වීම ලබාගැනීමට අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට ගිය අවස්ථාවේ පක්ෂ කාර්යාලය වසා දමා ඊට බධා කිරීම ඇතුළු සිදුවූ සියලු බාධාවන් සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා මරදාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
තමාට වැඩ භාර ගැනීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාගෙන් අවසර ලබාගැනීමට පොලිසියට අවශ්‍ය වූ නමුත්, තමන් පක්ෂයේ මහලේකම්වරයා ලෙස අධිකරණය විසින් පිළිගෙන ඇති බැවින් එසේ කිරීමට අවශ්‍ය නොවන බව තමා විශ්වාස කරන බව ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීමෙන් පසු නිදහසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවල නිරත වන බව දයාසිරි ජයසේකර සඳහන් කරයි. නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහාය දක්වන කණ්ඩායම සහ තමාට බාධාකළ ඔහුගේ ගෝලයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ඉල්ලා සිටින බව ද ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිලි කරන බව ද දයාසිරි ජයසේකර මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ දයාසිරි ජයසේකර මහතා නඩු පැවරීමෙන් පසුව අවශ්‍ය පියවර ගන්නා බවයි.