Sat. Jun 28th, 2025

18 වැනි උපන්දිනය ඉහළින් සමරන්න ගිය යෙහාන් දුම්රියට බිලිවෙයි

Jul3,2024

පසුගිය දිනෙක ප.ව. 4.15 ට පමණ මරදාන සිට පානදුර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් 18 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ සිය 18 වැනි උපන්දිනය සැමරීමට ගිය ශ්‍රී සරණංකර පාර, කළුබෝවිල පදිංචිව සිටි නිකුලස්ගේ යෙහාන් හංසක ටන්සිළු (18) යන තරුණයෙක්.

“අපි ඉකුත් 1 වනදින පස්වරු 4.00 ට පමණ දෙහිවල හන්දියට ගොස් යාළුවාගේ 18 වන උපන් දිනය සැමරුමට සූදානමින් ලස්සන උපන් දින කේක් ගෙඩියක් රැගෙන ත්‍රිරෝද රථයක නැඟී දෙහිවල දුම්රියපළ පාර අසල වෙරළ තීරයට යාමට පැමිණියා.

තිදෙනා බැස ගත් අතර මියගිය යාළුවා ගෙනා කේක් ගෙඩියත් රැගෙන ඉක්මනට හෝටලයට යාමට දුම්රිය පාර අයිනට ගියා. අපි පිටු පසින් ගියා. එක පාරට කොළඹ දෙස සිට පැමිණි දුම්රියේ ගැටී ඔහු බරපතළ තුවාල ලබා වැටී සිටියා ” යැයි දුම්රියේ ගැටී මියගිය අයෙකුගේ හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්කි ලබා දෙමින් ඔහුගේ මිතුරකු වූ තාරක මධුරංග (18) යන අය පැවසීය.

මේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය දකුණ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩබ්ලිව්. එම්. ටී. ලෝව් මහතා විසින් සිදුකරනු ලැබූ අතර, හදිසි මරණ පරීක්ෂණය දකුණ කොළඹ ශික්ෂණ රෝහල් හදිසි මරණ පරීක්ෂිකා මල්ලිකා සුගතදාස මහත්මිය විසින් සිදුකර තිබුණා.

දෙහිවල පොලිසිය පොලිස් සැරයන් 68142 ඒ. කේ. පී. කුමාර මහතාගේ සාක්කි මෙහෙයවීම යටතේ සාක්කි ලබා දෙමින් මියගිය අයගේ මව සහා පියා කියා සිටියේ “

පුතා 18 වන උපන් දිනය ඉහළින්ම සතුටින් සමරන්න යාලුවන් සමඟ හෝටලයකට ගිය බවයි. යන්න ඕනේ කියූ නිසා අපිත් ඒ සඳහා කැමැත්ත ලබා දුන්නා. ඒත් මේ වාගේ දෙයක් නම් වෙයි කියලා අපි හිතුවේ නැහැ” යනුවෙනි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරමින් හදිසි මරණ පරීක්ෂිකා මල්ලිකා සුගතදාස මහත්මිය කියා සිටියේ දුම්රිය රියැදුරු ගෙන්වා සාක්කි සටහන් කර ගන්නා ලෙසටයි. මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ද ලබා දෙනු ලැබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *