ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා
UNCTAD (United Nations Conference on Trade And Development ) සංවිධානයේ මෙහෙයවීම මතයි
මෙම පොහොර තොගය ඉදිරි වගා කන්න දෙකක් තුළ වී වගාව සඳහා ලබා දීමට නියමිතයි.
රජය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩ සටහනෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම බණ්ඩි පොහොර තොගය ලැබෙනු ඇති
අද (01) දින ජාතික පොහොර වැඩ සටහන සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා.
වී වගාව සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන බණ්ඩි පොහොර නොයෙදීම මගින් ගොයම් කහවීම මෙන්ම ගොයම් කරළ නිසි ලෙස වර්ධනය නොවීම සිදූවෙයි.
බොහෝ ගොවීන් බණ්ඩි පොහොර වී වගාව සඳහා නොයොදවන බව පෙනී ගොස් ඇති අතර මෙම යල කන්නයේ දී අලෙවි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 400ක් වැනි සුළු ප්‍රමාණයක්.
බණ්ඩි පොහොර මිල රුපියල් 14,000ක් දක්වා ඉහළ මට්ටමක පැවැති අතර රජයට අයත් පොහොර සමාගම් මගින් මෙම මිල රුපියල් 9000 දක්වා අඩු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව පසුගිය මහ කන්නයේ සිට බණ්ඩි පොහොර මිල රුපියල් 9,000 බැගින් අලෙවි කරනු ලැබුවා
කෙසේ වුවද ලෝක ආහාර වැඩ පිළිවෙළෙහි අනුග්‍රහය යටතේ බෙදාහරිනු ලබන බණ්ඩි පොහොර සඳහා වැට් හා මෙහෙයුම් ගාස්තු සඳහා රුපියල් බිලියන 3.5ක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
මින් බිලියන 1.1ක් පරිහරණ වියදම් වශයෙනුත්, බිලියන 2.4ක් වැට් බදු වශයෙනුත් වැය කිරීමට සිදුවනවා
මෙම මුදල ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මේ වනවිට ලැබී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා