Fri. Jun 27th, 2025

හදාගන්න ගත්ත සිඟිත්තා මරාගත්ත නරුම යුවලක‍ට මරණීය දණ්ඩනය

Mar6,2025 #murder

දරුකමට හදා වඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක ළමයෙකු වධ හිංසාවට ලක් කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු යුවලකට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා.

ඒ අනුව මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අලි මොහොමඩ් උස්මාන් සහ මොහොමඩ් ෆාහිම් ෆාතිමා සිෆානා යන අයට මෙසේ මරණ දඬුවම නියම වුණා.

2018 වසරේ මැයි මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ප්‍රදේශයේදී හදා වැඩා ගැනීම සඳහා ලබාගත් අවුරුදු දෙකක පිරිමි ළමයෙකු වධ හිංසාවට ලක් කොට මරණය සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරන විනිසුරු සුජීව නිශ්ශංක කියා සිටියේ, විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන මිනී මැරීමේ චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙන බවයි.

තවදුරටත් තීන්දු ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා සැක සහිත ලෙස මියගිය අවුරුදු දෙකක පමණ පිරිමි ළමයෙකුගේ මෘත ශරීරයක් පරීක්ෂණයකින් තොරව වල දැමීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් අදාළ නිවසට ගොස් ඒ පිළිබඳ විමර්ශන සිදු කර ඇති ආකාරය පොලිස් සාක්ෂිවලින් අනාවරණය වූ බව සඳහන් කළා.

අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරින් ඒ පිළිබඳ සැකයක් ඇතිවීම නිසා මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් පොලිස් සාක්ෂිවලින් අනාවරණය වී තිබුණා.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් මෙම දරුවා දරුණු ලෙස වධ හිංසනයට භාජනය වී තිබූ ආකාරය වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණය වී තිබූ බවත් විනිසුරුවරයා පැවසුවා.

මෙම දරුවාගේ දේහයේ තිබී තුවාල අනූවක් පමණ නිරීක්ෂණය වී ඇති අතර, ඒවා පිළිස්සුම් තුවාල මෙන්ම පහරදීම් හේතුවෙන් ඇතිවූ තුවාල බවටත් වෛද්‍ය සාක්ෂි වලින් නිගමනය කර තිබුණා.

එමෙන්ම අදාළ දරුවාගේ වෘෂන කෝෂවලටද දැඩි ලෙස හානි සිදුවී තිබූ බවත් වෛද්‍ය සාක්ෂි වලින් අනාවරණය වුණා.

ඒ අනුව මෙම දරුවා කෲර වද හිංසනයට භාජනය වී ඇති අතර, චේතනාන්විතවම ප්‍රචණ්ඩත්වයට ලක්වීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුවී ඇති බව වෛද්‍ය සාක්ෂිවලින් නිරීක්ෂණය වී තිබෙන බවත් විනිසුරුත්වරයා සදහන් කළා.

එමෙන්ම කාලයක් වධ හිංසනයට භාජනය වී පිළිස්සුම්වලින් ඇතිවූ බහුවිධ තුවාල හේතුවෙන් දරුවාගේ මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නිගමනය කර තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරුවන් විසින් මියගිය මෙම දරුවා කොළඹ ළමා රෝහල අසලටම රැගෙන ගොස් ඊට ඇතුළත් නොකට ආපසු හැරී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම බරපතල සැකයකට තුඩුදෙන කරුණක් බවයි.

අදාළ දරුවා මෙම විත්තිකරුවන් භාරයේ සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් මතුවී නොමැති බවත්, විනිසුරුවරයා අවධාරණය කළා.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරුවන් කියා සිටියේ, තමන් මෙම චෝදනාවලට නිර්දෝෂී බවයි.

තමාට තවත් දරුවන් දෙදෙනෙකු සිටින බවත්, මෙම දරුවා හදා වඩා ගත්තේ තම කැමැත්තෙන් බවත්, විත්තිකාරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ පර්යේෂණ හා වෛද්‍ය සාක්ෂිවලට අනුව මෙම මරණයට විත්තිකරුවන් වගකිවයුතු බවත් විනිසුරුවරයා තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අදාළ විත්තිකරුවන් දෙදෙනා මිනීමැරීමේ චෝදනාවට වරදකරු කරන බවත් විනිසුරුවරයා අවසන් වශයෙන් නිගමනය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *