කොටහේන පොලීසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
තමන් “මෝදර නිපුන” ලෙස හඳුන්වාගත් අයෙක් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත මෙලෙස මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වෙනවා.
පසුගිය පෙබරවාරි 21වැනිදා රාත්රීයේ කොටහේන ප්රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණා.
එම ඝාතනය සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනාව පොලීසිය විසින් එදිනම අත්අඩංගුවට ගෙන තිබුණු අතර පසුව ආයුධ පෙන්වීම සඳහා ඔවුන් දෙදෙනා කාකදූපත ප්රදේශයට රැගෙන ගිය අවස්ථාවේ දී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හමුවේ පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩිතැබීමකින් සැකකරුවන් ජීවිතක්ෂයට පත් වුණා.
පසුගිය පෙබරවාරි 22වනදා අලුයම එම සිද්ධිය සිදුවූ අතර ඊට මද වේලාවකට පසුව කොටහේන පොලිසියේ ස්ථානාධිපති කෝසල ලියානාරච්චි මහතාට දේශීය දුරකතන අංකයකින් ඇමතුමක් ලැබී තිබුණා.
මෝදර නිපුන තමන් බව පවසමින් “ගම්පහ දාපු සෙල්ලම් දාන්න බැහැ, හොඳින්ද නරකින්ද වෙන්න ඕනේ” යනුවෙන් ඇමතුම ලබාදුන් පුද්ගලයා පොලිස් ස්ථානාධිපතිවරයාට පවසමින් තර්ජනය කර තිබෙනවා.