Sat. Jun 28th, 2025

හිටපු ඇමැති හරීන්ලාගේ කෙළි කෝප් කමිටුවේ දී එළියට!

Feb20,2025 #news #police #sl economy #slpolitics

ජාතික තරුණ සේවා සභාව විසින් දිවයිනේ ස්ථාන 9ක සංවිධානය කළ Smart Youth නම් වූ ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 188ක මුදලක් අක්‍රමවත්ව භාවිත කර ඇති බව ඊයේ (19) කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා තරුණ සේවා සමාගම එම කමිටුව හමුවට කැඳ වූ අවස්ථාවේ දී.

මෙම වැඩසහන ක්‍රියාත්මක කිරීම කිසිදු සංයුක්ත සැලැස්මක් අනුව සිදු කර නොමැති බව කෝප් කමිටුවේ සභාපති නිශාන්ත සමරවීර මහතා එහි දී පෙන්වා දී තිබෙනවා.

එහි දී ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති සුපුන් විජේරත්න මහතා පෙන්වා දී ඇත්තේ මෙම වැඩසටහන් සියල්ල එවකට ක්‍රීඩා හා යෞවන හා කටයුතු භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතාගේ සහ එවකට ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ පසිඳු ගුණරත්න මහතාගේ තීරණ මත ක්‍රියාත්මක කර ඇති බවයි.

‍රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හමුවේ තරුණයන් අතර ඇති වූ අසහනය, පීඩාකාරී තත්ත්වය මුදාහැරීමේ මුවාවෙන් දේශපාලනික අරමුණු වෙනුවෙන් මෙම වැඩසටහන් සංවිධානය කර ඇති බවත් සුපුන් විජේරත්න මහතා එහි දී පෙන්වා දුන්නා.

එසේම ජාතික තරුණ සේවා සභාවේ එවකට සභාපති පසිඳු ගුණරත්න මහතා විසින් ජනාධිපතිවරණයට පෙර දිනයේ දී එම සභාවේ සේවයේ නියුතු ගිණුම් නිලධාරීන් තිදෙනෙකුට බලපෑම්කර රුපියල් මිලියන 100ක වවුචර්පත්වලට අදාළ ගෙවීම් සහතික කර ගෙන ඇති බව ද කෝප් කමිටු රැස්වීමේ දී අනාවරණය වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *