Sat. Jun 28th, 2025

යෝෂිත රාජපක්ෂ හිරේ යයි ද?

Jan27,2025 #news #slpolitics

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පසුගිය සිකුරාදා (24) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතකු වන යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබීම යම් කතාබහකට ලක් වූ සිදුවීමක් විය. යෝෂිත රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධ පළමු අත්අඩංගුවට ගැනීම මෙය නොවේ. යහපාලන රජය සමයේ පළමුවරට මෙම චෝදනා එල්ල වුණු අතර 2016 වසරේදී ද ඔහු අත්අඩංගුටව ගැනුණේ මෙම චෝදනාවන්ටම ය. එහිදී අත්අඩංගුවට පත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ යහපාලන රජය සිංහයාගේ වල්ගයෙන් අල්ලා ගත් බවයි.

මෙරට කාලාන්තරයක් බලය හෙබවූ දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වෙත එල්ල වුණු චෝදනා නිමක් නැත. මුදල් විශුද්ධිකරණ චෝදනා, අයථා ඉපැයීම් චෝදනා, මිනීමැරීම් චෝදනා, විභාග වංචා චෝදනා ඒ අතර වෙයි. එහෙත් ඔවුන් කිහිප අවස්ථාවකදී පැවසුවේ තමන් වරදක් කර නැති බවත් එසේ කර ඇත්නම් නීතිය ඉදිරියේ ඔප්පු කරන ලෙසත් ය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ දෙවැනි පුතා වන යෝෂිත නාවුක හමුදා නිලධාරියෙකු ලෙසද කටයුතු කළේ ය. CSN නමින් රූපවාහිනී නාලිකාවක්ද පවත්වාගෙන ගියේ ය. ඔහුගේ ඉපැයීම්වලට තරම් නොවෙන ඉඩකඩම් දේපළ ඇති බැවින් මේවා උපයා ගත්තේ කෙසේදැයි අදාළ චෝදනාවල සංකා මතු කර යම් වංචාවක් මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇත්දැයි සෙවීම සිදු වේ.මෙම චෝදනාවලට ගැනෙන ප්‍රධාන කරුණක් නම් දෙහිවල පිහිටි රුපියල් ලක්ෂ 500ක් පමණ වටිනා (මේ 2016 වසරේ තක්සේරු අගයයි) ඉඩමක් ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නම් වයෝවෘද්ධ කාන්තාවගේ නමට මිලට ගැනීමයි.

මෙම මුදල් ඉපැයූවේ කෙසේද යන්න නැගුණු ප්‍රධාන පැනය වන අතර මේ පිටුපස ඇති තවත් කතා එවක මාධ්‍ය හමුවේ හෙළිදරව් විය. එම කරුණු සංක්ෂිප්ත කොට පවසන්නේ නම් යෝෂිත රාජපක්ෂට සිය මව වන ශිරන්ති වික්‍රමසිංහ විසින් කුඩා බිම් කොටසක් ගල්කිස්ස පෙදෙසේ තිබී ඔහුට පවරා ඇති අතර මෙය රාජපක්ෂවරුන්ගේ කීර්තියට නොසරිලන තරම් ඉඩම් ප්‍රමාණයකි. පසුව අනීතිකව මෙම ඉඩම ආසන්නයේ තිබූ ඉඩම් කොටස් ගණනාවක් මෙම අය විසින් මෙකී ඉඩමට එක් කරගෙන ඇත. මම ප්‍රමාණය පර්චස් 30කට ආසන්න ප්‍රමාණයක් බව කියැවේ. මෙම පවරා ගැනීම් මෙරට පවතින බෙදුම් නීතියටද පටහැණි බව එකල වාර්තා විය.

පසුව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස ඩේසි ෆොරස්ට් නම් කාන්තාව එවක ක්‍රියාත්මකව පැවැති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවුණු අතර ප්‍රශ්න කිරීමේදී රටක් සිනහගැන්වූ සහ නව උපමාවක් පවා නිර්මාණය වූ කතාවක් කතාවක් කියා සිටියා ය. එනම් යෝෂිත වෙනුවෙන් ඉඩම මිලට ගැනීම පිණිස තමන්ට නාඳුනන මුස්ලිම් මුදලාලි කෙනෙකු පැමිණ මැණික් මල්ලක් ලබා දුන් බවයි. පසුව තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මුදල් මළු දෙකක් ලබා දී එම මැණික් මල්ල ආපසු රැගෙන ගිය බව ද ඈ කීවාය. විමර්ශන නිලධාරීන් විමසුවේ ඒවා ලබා දුන් නෝට්ටු වර්ගයයි. ඈ ගත් කටටම එහිදී කියා ඇත්තේ ඒවා 5000 නෝට්ටු කොළවලින් ලබා දුන් බවයි. අරුමය වන්නේ එම සිදුවීම වී යැ යි කියන කාලයේ 5000 නෝට්ටු මුද්‍රණය වී නොතිබීමයි.

කෙසේ වෙතත් පාදයකට ප්‍රතිකාර ලබා ගැනීමට යැ යි කියමින් යෝෂිත වෙනුවෙන් එවක විදේශ ගමන් අවසරයක් අධිකරණය මගින් ලබා ගත් බව අපට මතකයක් තිබේ.

දැන් නැවත යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇති අතර අද (27) දින ඔහු බොහෝදුරට ඇප මත නිදහස් වෙනු ඇත.
අධිකරණයකින් වරදකරු වීම විසින් කිසිවෙකු සැබෑවට ම එහි වරදකරු ද යන්න ප්‍රශ්නයක් සේ ම අධිකරණයකින් වරදකරුවකු නොවීම ඔහු වරදක් නොකළ අයකු වනවාද යන්නත් ප්‍රශ්නයකි. නීතියේ ඇති අඩුලුහුඬුකම්වලින් රිංගා එවකත් මෙවකත් බොහෝ දෙනා අටනහුතයක් චෝදනාවලින් මිදී නිදහසේ සැරසරති.

ආණ්ඩුවකට හෝ වෙනත් ආයතනයකට හිතුමනාපයේ කිසිවෙකු හිරේ යැවිය නොහැකි අතර එසේ යැවෙනවා නම් එයද සාධාරණ නැත. එයට නීතිය-යුක්තිය පසිඳලන ආයතන තිබේ. සමහර ප්‍රසිද්ධ රහස් වැනි චෝදනා පවා නීතිය ඉදිරියේ ඔප්පු නොවී යම් යම් බලවතුන් ඒවායෙන් නිදහස් වනවා නම්, ඇඟිලි ඔසවා නීතියට කෝචොක් දමනවා නම් ඉන් කෙළෙසී යන්නේ නීතියේ සාධාරණත්වය පිළිබඳ මහජන විශ්වාසයයි.

දෙවැනි වරත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට පත්ව තිබේ. 2016 සිට දසකයකට ආසන්න කාලයක් නඩු ගොනුව අක්‍රීය වී තිබීම ද විස්මයකි.

මේ සියල්ල වර්තමානයේ සිදුවීම් ලෙස පෙනුණද මේවා ගැන සැබෑ නිර්වචනය සපයනු ඇත්තේ ඉතිහාසයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *