Sat. Jun 28th, 2025

නීතිපති ස්ථාවරයෙන් මහර සිරකරු ඝාතන නඩුව විසි වෙයි: යුක්තිය ඉල්ලා සටන ඉදිරියට!

Dec18,2024 #law #news #police

2020 වර්ෂයේ කොවිඩ් වසංගත සමයේ තමන්ට කොවිඩ් වැළැඳී ඇත්දැයි දැනගැනීමට පී.සී.ආර්. පරීක්ෂණ ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් කළ උද්ඝෝෂණයට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමෙන් රැඳවියන් 11ක් ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරීමට වැලිසර මහේස්ත්‍රාත්වරයා තීන්දු කළා.

ඒ නීති කෘත්‍යය ඉදිරියට පවත්වාගෙන නොයෑමට නීතිපතිවරයා ගත් තීරණය හේතුවෙනුයි.

අදාළ ඝාතන සිදුකිරීම අපරාධයක් බැවින් ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස වැලිසර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබියදීත් අදාළ පියවර නොගෙන නඩුව වසා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ සේනක පෙරේරා මෙසේ පැවසුවා.

“ස්වාමිනි නීතිපතිවරයා මේ කියන්නේ මේ සියලු මරණ නීත්‍යානුකූලයි කියලාද? නීතිපතිවරයාගේ මතය අවසානාත්මක නැහැ. පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීම නිත්‍යානුකූලද, නැද්ද කියලා තීරණය කරන්න ඕනේ නඩු විභාගයක් සිදුකරලා. නැතුව නඩුවක් නැහැ කියලා ගොනුව වහන්න බැහැ. බන්ධනාගාර ආඥා පනතින් රැඳවියන් පාලනය කරන්න මිසක් මරණය සිදුකරන්න බලය ලැබෙන්නේ නැහැ. “

නීතිපති ස්ථාවරය අභිබවා නඩු කටයුත්තක් පවත්වාගෙන යෑමට අධිකරණමය බලයක් නැති බැවින් මහර බන්ධනගාරයේ රැඳවියන් 11 ඝාතනය කිරීමේ නඩුව ඊයේ (17) අවසන් කෙරුණා.

කෙසේ වෙතත්, මේ පිළිබඳ තොරතුරු දැනගැනීමට අප අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ සේනක පෙරේරා ඇමතුවා. නීතිපතිවරයාට ව්‍යවස්ථාපිත යම් ප්‍රතිපාදන තිබෙන නමුත් එය යුක්තිය අපගමනය සඳහා යොදාගත නොහැකි බව ඔහු පවසනවා. මෙම නඩු කටයුත්තේදී 2023 වසරේ දී සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය ඉටු නොකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට අගතියට පත් පාර්ශ්වය විසින් රිට් පෙත්සමක්ද ගොනු කර තිබියදී පසුගිය අගෝස්තු 30 දින නීතිපතිවරයා නඩු කටයුත්ත ඉදිරියට ගෙන නොයන බවට ලිපියක් මගින් අධිකරණයට දැනුම් දී තිබුණා.

මෙම ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා නැවත රිට් පෙත්සමක් ගොනු කරන බවත් යුක්තිය වෙනුවෙන් කරන සටන අතරමැද නවතා දැමීමට අදහස් නොකරන බවත් නීතිඥවරයා අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *