2024 වර්ෂයේ මේ දක්වා ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 540 කට ආසන්න ප්‍රමාණයක් රාජසන්තක කර ඇති බව නව රජයේ පළමු ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට දැනුම් දෙනු ලැබුවා.
පසුගිය සතියේ (දෙසැ 12) වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය වුණා.
ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර් ධනුෂ්ක පුෂ්පකුමාර පෙන්වා දෙන්නේ බන්ධනාගාරය පිහිටි ස්ථානය ජංගම දුරකතන ජාවාරමට බෙහෙවින් ඉවහල් වූ බවයි.
“බන්ධනාගාර තාප්පය ළඟම පාරක් තියෙනවා, බිත්තියට උඩින් ලොකු පාර්සල් විසි කරන්න පුළුවන්. ආරක්ෂක විධිවිධාන තිබියදීත්, මෙම භාණ්ඩ රහසිගතව ප්‍රවාහනය කරනවා. මෙම භාණ්ඩ රාජසන්තක කිරීමට පොලිසියේ සහය ලබා ගැනීමට සාකච්ඡා කරමින් පවතිනවා.
මෙම රැස්වීමේදී අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා පැවසුවේ තාප්පයට ඉහළින් දැළක් සහ සීසීටීවී පද්ධතියක් සවි කිරීමට යෝජනා කර ඇති බවයි.
“කෙසේ වෙතත්, අවට ප්‍රදේශය රජයේ ආයතන ගණනාවක් පිහිටා ඇති නිසා එය දුෂ්කර වී තිබෙනවා. අධික වියදම් සහිත ජෑමර් සවි කළ යුතුයි. 2025 දී මෙම කාර්යයන් සිදු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසුවා.